IMF සාකච්ඡාවට අපි එන්නෙ නෑ! ඕනනම් තනිව හමුවනවා!” – මාලිමාව

හෙට (11) දිනයේ දී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මූලය අරමුදලේ නියෝජිතයන් සමග සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සහභාගි නොවන බව පවසනවා.

ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තනිව සාකච්ඡා කිරීමේ හැකියාවක් තම පක්ෂයට ඇති බවයි.

ජනාධිපතිවරයා විසින් මෙම සාකච්ඡාව සදහා විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන්ට සහ ඔවුන් සමග තම පක්ෂයේ එක් අයෙකුට සහභාගි විය හැකි බව දැනුම් දී තිබෙනවා.

මේ අතර එම සාකච්ඡාව සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාටත් ආරාධනා කර තිබෙනවා.

කෙසේ නමුත් එම සාකච්ඡාව සඳහා ජාතික ජනබලවේගයේ සභාගිත්වයක් නොමැති බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්හෙත්ති මහතා පැවසුවේ,

“IMF එක කියන්නේ තාවකාලික පැලැස්තරයක් විතරයි. අපි විශ්වාස කරන්නේ නෑ IMF කියන්නේ අපේ රටේ අර්බුදයට විසඳුමක් කියලා.

IMF එකෙනුත් අපිට අනෙකුත් ජාත්‍යන්තර සංවිධානත්, රටවලුත් එක්ක වගේම තාවකාලික කළමණාකරණය කිරීමේ අවශ්‍යතාවයක් තියනවා.

අපි IMF එකත් එක්ක සාකච්ඡාවක් හදලා දෙන්න කියලා රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කරලා නෑ. රනිල් වික්‍රමසිංහ හදලා දෙන සාකච්ඡාවලට අපි යන්න ඕන වෙන්නෙත් නෑ. අපිට එහෙම යන්න අදහසකුත් නෑ

IMF එකට අවශ්‍ය නම් අපිත් එක්ක කතා කරන්න ඒකටත් ක්‍රමවේදයක් තියනවා. අපට IMF එකට කරුණු කියන්න තියනවානම් ඒකත් අපිට සාකච්ඡාවක් හදාගන්න අමාරු නෑ.” යනුවෙන්.

මේ අතර අදාළ සාකච්ඡාවට සහභාගි නොවීමට සමගි ජනබලවේගය ද කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!