රාජ්‍ය සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අඛණ්ඩව

රුපියල් 25,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සංගම් 200ක් පමණ ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අදත් (09) ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

විධායක ශ්‍රේණියේ නිලධාරීන්ට ලබාදුන් රුපියල් 25,000 දීමනාව අනෙක් සියලු සේවකයින්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව විසින් ඊයේ (08) සහ අද අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ඊයේ දිනයේ දී දිවයිනේ බොහෝ රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයට වාර්තා නොකර සිටි අතර රාජ්‍ය ආයතන රැසක දෛනික කටයුතුවලට එයින් දැඩි බාධා එල්ල වුණා.

සිය ඉල්ලීමට බලධාරීන් මෙතෙක් යහපත් ප්‍රතිචාර ලබා දී නැති නිසා අද දිනයේත් අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිතිය සඳහන් කළා.

රාජ්‍ය සේවකයින්ගේ වැඩවර්ජනයට සමගාමීව තැපැල් වෘත්තීය සමිති ද පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩවර්ජනයේ නිරතව සිටිනවා.

එම වැඩවර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසනවා.

මේ අතර රාජ්‍ය සේවකයින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති ද අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව ඊයේ දිනයේදී දැනුම් දුන්නා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම් ලැබෙන තුරු අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බවයි.

කෙසේවෙතත් රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකයින්ගේ ඉල්ලීම් ලබා දීමට හැකියාවක් නොමැති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!