එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගෙන විනාශ වීම හේතුවෙන් සමුද්‍රයට,වෙරළට හා අවට පරිසරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණවලට අදාළ සියළුම වාර්තා සහ නෞකාවේ කපිතාන්වරයා සහ කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයා ලබාදුන් කට උත්තරවල සියළු පිටපත් අධිකරණයට ඉදිරිපත්කර ඇති බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.
එම සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවනලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වෙත නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා දැනුම් දුන්නා.
එම පෙත්සම යසන්ත කෝදාගොඩ මුර්දු ප්‍රනාන්දු , ශිරාන් ගුනරත්න ,අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීනෙගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී ධීවර ප්‍රජාව වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පීඩාවට පත් ධීවර ප්‍රජාවට මෙතෙක් වන්දි නොලැබුණු බවයි.
කාදිනල් රන්ජිත් හිමිපාණන් , සරත් ඉද්දමල්ගොඩ පියතුමන් ප්රමුඛ ධීවර ප්‍රජාව සහ පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනුකර තිබෙනවා.
පෙත්සම් කරුවන් කියාසිටියේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හේතුවෙන් සිදු වූ පාරිසරික විනාශය සම්බන්ධයෙන් තවමත් විධිමත් පරීක්ෂණයක් සිදුකර නොමැති බවයි.