තලංගම ඝාතනයේ රහස හෙළිවේ – බිරිය මැරුවේ කුඩු නිසා

අබිරහස් ලෙස තම බිරිඳ ඝාතනය කර ඇති බවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත්කර පොලිසිය නොමග යැවීමට උත්සාහ කළ මියගිය කාන්තාවගේ සැමියා ඇතුළු දෙදෙනක් සිද්ධියෙන් දින හතරකට පසුව තලංගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ තලංගම උද්‍යාන මාවතේ තාවකාලිකව පදිංචිව සිටි තාරුකා නදී කුමාරි නමැති (31) හැවිරිදි කාන්තාව මෙලෙස මිය ගිය බවයි.

මිය ගිය කාන්තාව තම සැමියා සමග තලංගම උද්‍යාන මාවත ප්‍රදේශයේ කුලී නිවෙසක වාසය කර තිබෙනවා.

සැමියා මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවී සිටි නිසා දෙදෙනා අතර නිරන්තරයෙන් බහින්බස්වීම් ඇතිව තිබෙන බව පොලීසිය පවසනවා.

මේ අතරතුරදී මත්ද්‍රව්‍ය පානයට ඔහුගේ මිතුරකුද සම්බන්ධ වී ඔහු නිතර නිතර නිවසට යාමට ඒමට පුරුදුව සිටීම නිසා එම බහින්බස්වීම් වැඩි වී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඉකුත් 06දා සවස සැමියා සිය මිතුරා සමග නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේ බිරිඳ සමග බහින්බස්වීමක් ඇතිව තිබෙනවා.

එම සිද්ධිය අතරතුරදී සැමියාගේ මිතුරාද බහින්බස්වීමට සම්බන්ධ වී එම කාන්තාව සමග ගැටුමක් හටගෙන තිබෙනවා.

පසුව ඔහු නිවසේ තිබූ තියුණු ආයුධයක් ගෙන එම කාන්තාවගේ හිසට, ගෙලට හා ස්ථාන කිහිපයකට පහරදී බරපතල තුවාල සිදුකොට කාන්තාවගේ සැමියා සමග නිවසේ දොරගුළු ද දමා හිඟුරක්ගොඩ ප්‍රදේශයට පළාගොස් දින හතරකට පසුව (10) දා රාත්‍රී යළි නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.

එසේ එන විට එම කාන්තාව ඝාතනය වී සිටිනු දැක ,සැමියා හා ඔහුගේ මිතුරා බිය වී ඒ පිළිබද කතාවක් ගොතා තලංගම පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා .

පසුව පොලිස් නිලධාරී කණ්ඩායමක් සිද්ධිය සිදු වූ ස්ථානයට ගොස් පරීක්ෂාකොට සැමියාගෙන් සහ මිතුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔවුන් ලබාදෙන පරස්පර ප්‍රකාශ නිසා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඝාතනය තමා විසින්ම සිදුකළ බවට ඔවුන් පොලීසිය හමුවේ පාපොච්චාරණයක් සිදුකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.