යුධ සමයේවත් එල්ටීටීය පාසල් වැහුවේ නෑ – ඒකට අද පාසල් වහලා ඒක වීරත්වයෙන් සලකනවා

ත්‍රස්තවාදී සංවිධානයක් වුවත් එල්ටීටීඊය වසර තිහක් පැවති යුද සමයේදී පාසල් වැසීමට ඉඩ නොදුන් අතර එම පළාත්වල ගුරුවරුන් බංකර යට හිඳ හෝ දරුවන්ට අධ්‍යාපනය ලබා දුන් බව බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (18) මතුගම පැවති ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට සහභාගී වෙමින් පැවසුවා.

එසේම අන්තවාදී වෘත්තීය සමිති තම දේශපාලන අවශ්‍යතා අනුව පාසල් 10,000ක් වසා දැමීම වීරත්වයක් කොට සලකන බවත් ඒ මහතා අවධාරණය කළා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,

“උතුරේ ත්‍රස්තවාදී සංවිධානයක් වෙලත් එල්ටීටීඊය යුද්ධය අවුරුදු 30ක් තියෙද්දිත් පාසල් වහන්න දුන්නේ නෑ. ගුරුවරු කාණු කපලා, බැරල් ඇතුළේ දරුවන්ව තියාගෙන අධ්‍යාපනය දුන්නා. අපි ගුරු දෙවිවරුන් විදිහට තිබ්බ ගරුත්වයත් කෙලෙසගෙන. කවදාවත් පාසල් යන්නේ නැති සංගම්වල සභාපති ස්ටාලින්, මහින්ද ජයසිංහගේ දේශපාලන අවශ්‍යතා අනුව ගරුත්වය ඇති විදුහල්පතීන්, ගුරුවරුන් පාවිච්චි කරලා නිදහස් අධ්‍යාපනයට බරපතල කැළලක් ඇති කළා. ඔවුන්ගේ වීරත්වය වුණේ පාසල් 10,000ක් වැහුවා කියන එක තමයි. ඒ නිසා කන්න්නංගර උතුමන් අපි සිහි කරන්න ඕනේ.

අද අපි පාට පක්ෂ භේදයෙන් තොරව එක් ආණ්ඩුවකට එකතු වෙලා තියෙනවා. අපි ඉස්සර ගහ මරාගත්තු අය. අද රාජ්‍ය නිලධාරීන් දේශපාලනය ගැන කල්පනා කරන්නේ නැතුව සියලු දෙනා එකට එකතු වෙලා ඉන්නවා – වැටිච්ච රට ගොඩගත්තා වගේම ඉස්සරහටත් රට ගොඩගන්න දැවැන්ත එක මතයකට මුළු රටේම මිනිස්සු ඇවිත් තියෙනවා.මෙතන ඉන්න දරුවන්ගේ එක්කෝ අම්මා ළඟ නෑ, එක්කෝ තාත්තා ළඟ නෑ. අම්මයි තාත්තයි දෙන්නම ගෙදර ඉන්න ඕන දරුවෙක්ගේ පුංචි කාලේ. ඒත් මේ දරුවන්ට ඒ කැපවීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඔවුන්ගේ අම්මා හෝ තාත්තා පිටරට ඉඳගෙන රටට සල්ලි එවනවා දරුවන්ගේ අධ්‍යාපනය ගොඩ නගන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න, උගන්නලා හොඳ ලොකු මිනිහෙක් කරන්න. ඒ වගේම මේ රටට බැංකු පද්ධතිය හරහා සල්ලි එවලා මේ රටේ ආර්ථිකය ගොඩගන්න මේ අම්මලා තාත්තලා යුතුකම් ඉටු කරමින් දැවැන්ත හයියක් වෙනවා. 88 – 89 තරුණ කැරැල්ලක් ඇති වෙලා අපේ රටේ 60,000ක් මැරෙනකොට කොරියාව අයිඑම්එෆ් එකට ගිය රටක්. ඒ රටේ මිනිස්සු පිරටවරල ගිහින් ගෘහ සේවය කළා පමණක් නොවෙයි පසුව ව්‍යවසායකයෝ බවට පත් වුණා. එදා ඒ ප්‍රතිපත්ති වෙනස් කරලා අඩිය ඉස්සරහට තියලා ආයෙත් අයිඑම්එෆ් නොයන රටක් විදිහටයි කොරියාව ඉස්සරහට ආවේ. අද ලංකාවත් ඒ ගමනයි මේ පටන්ගෙන තියෙන්නේ. අපිට පක්ෂ දේශපාලනයවත් ජාති ආගම් කුල මල භේදයවත් නෙවෙයි ඕන කරන්නේ. රට ඉස්සරහට ගෙනියමු කියන මතයට රට ඇවිල්ලා තියෙනවා.

පොදුජන පෙරමුණේ ආණ්ඩුව 69 ලක්ෂයක් ඡන්දේ දීලා හදපු ආණ්ඩුවක්. ඒ අය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරන්න නෙමෙයි ඡන්දේ දුන්නේ. නමුත් මේ ජනතාවත් මන්ත්‍රීවරුනුත් තමන්ගේ දේ කැප කරලා, ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් ඇමතිකම් පවා කැප කරලා රට වෙනුවෙන් සියලු දෙනා එකට එකතු වෙච්ච ගමනක් අද තියෙන්නේ. මේ විදේශගත ශ්‍රමිකයින්ට රටට සල්ලි එවන්න එපා කියලා, රට වට්ටන්න ඕනි කියද්දි රට හදන්න ඕන, ගොඩ නගන්න ඕන කියන තැන ඉඳගෙන ඩොලර් බිලියන 12ක් එව්වා. ඒක පුංචි ගාණක් නෙමෙයි. ඒකයි අපි මේ වැඩසටහන ‘විගමනික හරසර’ කියලා නම් කරන්නේ. ඒකයි රට වටේම ගිහින් කිව්වේ විගමනික ශ්‍රමිකයො තමයි රටට හයිය දුන්නේ කියලා. ඒකයි අපි ඔවුන්ගේ පවුල්වල අයට සහාය දෙන්නේ. ඒ වගේම අපි විගමනික ශ්‍රමිකයින් අතරින් ව්‍යවසායකයින් ලක්ෂයක් හදන්න බලාපොරොත්තු වෙනවා. කොරියාවේ, ජපානේ, ඊශ්‍රායෙල්, මැදපෙරදිග, ඩුබායි ඉඳලා ඇවිත් එදා ව්‍යවසායකයෝ හැදුනා. අන්න ඒ වගේ වැඩපිළිවෙළකුත් එක්කයි අපි මේ රටේ අයව ගරුත්වයෙන් අරගෙන රට විරුවන් කියන නමටත් එහා ගිහින් මේ රට ගොඩ නගන කණ්ඩායම හැටියට ඔවුන් එක්ක ඉස්සරහට යන්නේ.

අපි ඇවිල්ලා ඉන්නේ මතුගමට – පස්දුන් කෝරළයේ අගනගරයට. මෙහෙට ඇවිත් කතා කරනකොට අධ්‍යාපනය ගැන අපිට කතා නොකරම බෑ. C.W.W. කන්නංගර මතිතුමා 1936 රාජ්‍ය මන්ත්‍රණ සභාවට මතුගමින් ගිය මන්ත්‍රීවරයා. එතුමගෙ ගම අපේ ගම් පළාත වන රන්දොඹේ. එතුමගේ පියා මේ පළාතේ මහජන මන්ත්‍රී විදිහටයි මෙහි එන්නේ. පහුගිය දවස්වල කන්නන්ගර මැතිතුමා මතක් වුණේ රටේ අභියෝගයක් විදිහට ‘ගහක ගෙඩියක් කඩාගන්න කෙනෙක්වත් නැති වෙනවා’ කියලා සමහරු එතුමට කිව්වා නිදහස් අධ්‍යාපනය හේතුවෙන්. එහෙම අභියෝගයක් එතුමා ක්‍රියාත්මක කළේ. පහුගිය දවස්වල ආව යම්කිසි අභියෝගයක් ආ නිසයි මට කන්නන්ගර මැතිතුමා මතක් වුණේ. පහුගිය දවස්වල සතියට දවස් දෙකක් පාසල් වැහුවා. වෙන අයගේ අවශ්‍යතා වෙනුවෙන් අපි මේ නිදහස් අධ්‍යාපනය විනාශ කළා.

ජනාධිපතිතුමා තමයි අධ්‍යාපන විද්‍යා පීඨය ගෙනාවෙ. ඒ තැන්වලින් තමයි රටට හොඳම ගුරුවරු ටික හදලා දෙන්නේ. ඒක තීන්දු කළේ 1986දී දුර දැකලා, තරුණ යොවුන් සේනාංක හදද්දි. එහෙම කරලත් මොනාද 75 වසරක් කළේ කියලා කට්ටිය අහනවා. තවත් සමහරකගෙන් ඇහුවොත් 75 වසරක් මොනාද කළේ කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ගොවිජන සේවා කාර්යාල ගිනි තිව්වා, බස්, ට්‍රාන්ස්ෆෝමර් කැඩුවා, මාස 06ක් දරුවන්ට පාසල් යන්න දුන්නේ නෑ. හිටපු විදුහල්පතිවරුන්, ගුරුවරුන් මරලා දැම්මා, මොනෑශ් විශ්ව විද්‍යාලයට ලංකාවට එන්න දුන්නේ නෑ වගේ දේවල් කියන්න පුළුවන්. ආසියාවෙම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වුණ මොනෑශ් විශ්ව විද්‍යාලයට ලංකාවේ දරුවොත් අද අධ්‍යාපනය සඳහා මැලේසියාවට යනවා. ඒකෙන් ඩොරල් බිලියන 100ක් ඉක්මවූ ආදායමක් ඒ රටට එනවා. අපේ රටේ සියලු ණය ඩොලර් බිලියන 100ක් වගේ.
අධිරාජ්‍ය කාලයේ, රටේ ආර්ථිකය වතුවලින් දක්වන දායකත්වය වගේම පාහියන් ගල්ලෙන නිසා ප්‍රාග් ඓතිහාසික යුගය ගැනත් කියන විට සිහි වෙන ප්‍රාදේශයක් මේ පස්දුන් කෝරළය. දයා ටී. පැස්කුවල්, කොල්වින් ආර් ද සිල්වා, රොනී ද මෙල්, මෙරිල් කාරියවසම් යන දේශපාලනනඥයින් එහිදී අපට සිහි වෙනවා. මෙරිල් කාරියවසම් මැතිතුමා වගේම තමයි මගේ තාත්තත් 88-89 කාලයෙදි ඝාතනය කළේ. දේශපාලනය කළාට නෙවෙයි, සමාජ සේවය කළා කියලා. මේ රට කඩා වැටුණු වෙලාවේ මේ රට බේරා ගත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පස්දුන් කෝරලයේ නෑයෙක්. මතුගමට නුදුරු කන්ද උඩරට රාජ්‍යයට සම්බන්ධ රණශූරයින් හිටි කුඩගල යන පැරණි පරපුරක දොන් පිලිප් විජේවර්ධන කියන නූතන ප්‍රභූවරයෙක් විවාහ වෙන්නේ කැලණියේ හෙලේනා වීරසිංහ සමග. පසු කාලෙක ඇය හෙලේනා විජයවර්ධන වුණා. ඒ ගැන අපි දන්නවා. මේ යුවලට දරුවන් 09ක් සිටියා. ඔහුගේ වැඩිමහල් දියනිය නාලනී විජේවර්ධන විවාහ වෙන්නේ බද්දේගම එස්මන් වික්‍රමසිංහ සමග. රනිල් වික්‍රමසිංහ කියන්නේ එතුමන්ගේ පුත්‍රයා. ඔහු තමයි ඒ වීරයින්ගේ පරපුරේ රට වැටුනු වෙලාවේ රට බාරගත් කෙනා.

අපිට අතීතයේ වුණ කඩාවැටීම්, වැරදි දිහා බල බල අතීතකාමයේ ඉඳගෙන අතීත වීරකම් ගැන කිය කිය ඉඳලා රටක් විදිහට ගොඩනැගෙන්න බෑ. මේ වෙලාවේ කල්පනා කරන්න තියෙන්නේ ධනාත්මකව හිතලා රට ගොඩනගන්න ඉස්සරහට යන එක. අපිට මේ වෙලාවේ විගමනිකයින් හයිය දෙනකොට, සංචාරක ක්ෂේත්‍රයේ දැවැන්ත පිබිදීමක් ඇති වෙනකොට, නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉස්සරහට යනකොට රටක් විදිහට ඉස්සරහට ගිහින් ණය බර අඩු කරගෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ සමග අපේ වැඩ කරන ජනතාව නූතන වැඩ ලෝකයට ගැලපෙන විදිහට නූතන වැඩ්ඩන් විදිහට ලෝකය යන තාක්ෂණයත් එක්ක යන්න පුළුවන් දැනුම ආකල්ප කුසලතා හදලා දීලා එතනට යන්න ඕනේ. ඒ සඳහා ජනාධිපතිතුමා, ආණ්ඩුකාරවරුන්, අම්මාත්‍යාංශ ලේකම්වරුන් වගේ තමන්ගෙන් පටන්ගන්න ඕන. අපිට පක්ෂ දේශපාලනය වලංගු නෑ” යනුවෙන් අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!