අමෙරිකාවෙන් පරිත්‍යාගයක් ලෙස දුන් ගුවන්යානය නුදුරේදීම දිවයිනට

එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට පරිත්‍යාග කළ ගුවන් යානය එළඹෙන සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව අමෙරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයපවසනවා.

බීච්කාෆ්ට් කිංග් එයාර් 360ER ගුවන් යානයක් මෙලෙස ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර ඇති අතර එය ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමග පවතින දිගුකාලීන සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් මත ලැබී තිබෙනවා.

මෙම ගුවන් යානය 2022 වසර අග භාගයේදී නිමකර ඇති අතර රේඩාර් සහ කැමරා වැනි සමුද්‍ර ආවේක්ෂණ සංවේදනයක් ඇතුළුව අතිරේක වැඩිදියුණු කිරීම් ද ඇතුළත් කර 2024 මැද භාගයේදී සම්පූර්ණයෙන් නිම කර ඇති බව සඳහන් වනවා.

සමුද්‍ර නිරීක්ෂණය සහ ආපදා සඳහා ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වැඩිදියුණු කිරීම, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ හැකියාවන් වැඩිදියුණු කිරීම මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.

ඩොලර් මිලියන 19ක් වටිනා මෙම ප්‍රදානයට ගුවන් යානා සහ ආධාරක සේවාද ඇතුළත් වන බව තානාපති කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වනවා.

පුහුණුවීම් සහ පෙරහුරු කාලසීමාවකින් පසුව මෙම යානය නිල වශයෙන් භාරදීම මෙම වසර අගදී සිදු කිරීමට අපේක්ෂා කරනු ලබනවා.

ගුවන් යානය මෙරටට පැමිණීමෙන් පසු රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී වැඩිදුර පුහුණුවීම් සහ ඒකාබද්ධ කිරීම් කටයුතු සඳහා යොදා ගෙන පසුව ත්‍රිකුණාමලය චීන වරායේ පිහිටි සමුද්‍ර සංචාර 3 වැනි බළඝනයට සම්බන්ධ කිරීමට නියමිතයි.