අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අනවසරයෙන් සිය භාරයේ තබාගත් හැටන් වැවිලි සමාගමට අයත් ලිදුල ” හෙන්ෆොල්ඩ් ” වතුයායෙ පිහිටි නිල නිවස අධිකරණ නියෝගයකින් නැවත වතු අධිකාරියට පවරා තිබෙනවා.
ඒ එම නිවසේ තිබූ ඒ මහතාට අයත් සියළු භාණ්ඩ සමඟයි.
එම නිල නිවස නැවතු වතු අධිකාරියට පවරන ලෙසට නුවරඑළිය දිසා විනිසුරුවරියගේ නියෝගයකට අනුව අධිකරණ රෙජිස්ටාර්වරිය ඇතුළු නිලධාරින් ලිදුල පොලිසියේ දැඩි ආරක්ෂාව යටතේ එම නිල නිවසට පැමිණ නිල නිවස වතු අධිකාරියට පවරා දුන්නා.
අරවින්ද කුමාර් මහතා 1987 වසරේ ලිදුල හෙන්ෆෝල්ඩ් වතුයායේ ප්‍රධාන ලිපිකරු වශයෙන් සේවය කරන කාලයේ පාලන අධිකාරිය විසින් ඒ මහතාට මෙම නිල නිවස ලබා දී තිබෙනවා.
පසු කාලයේ ඒ මහතා එම තනතුරින් ඉවත්වූ පසු නැවතත් එම නිල නිවස තමාට පවරන ලෙස වතු අධිකාරිය ඒ මහතාට පවසා තිබෙනවා.
නමුත් ඒ මහතා එම නිවස ලබා නොදී අලුත්වැඩියා කර එම නිවසේම රැඳී සිටීමට එරෙහිව වතු පාලනාධිකාරිය විසින් අරවින්ද කුමාර මහතට එරෙහිව නුවරඑළිය දිසා අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
දීර්ඝ කාලයක් එම නඩුව විභාග කළ නුවරඑළිය දිසාවිනිසුරුවරයා ඒ මහතාට නිල නිවසින් ඉවත්වන ලෙස නියෝග කරමින් තීන්දුව ප්‍රකාශ කළා.
කෙසේ නමුත් පසුව අරවින්ද කුමාර් මහතා එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයටද පසුව ශ්‍රේෂ්ඨාධිකරණයටද අභියාචනා ඉදිරිපත් කළත් ඒවා ප්‍රතික්ෂේප වුණා.