සලකුණු කළ තැපැල් ඡන්ද පත්‍රිකාවක් ඡායාරූප ගතකළ විදුහල්පතිවරයෙක්ට අත්වූ ඉරණම

තැපැල් ඡන්දය සලකුණු කළ පත්‍රිකාවක් ඡායාරූප ගත කිරීමේ චෝදනාවකට මුලතිව් ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ සහතික කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කළ විදුහල්පතිවරයෙකු බව පොලීසිය සඳහන් කළා.

අදාළ විදුහල්පතිවරයා පසුගිය 06 වනදා මුලතිව් අධ්‍යාපන කාර්යාලයේ දී තැපැල් ඡන්දය භාවිත කරන අතරතුර ඡන්ද පත්‍රිකාවේ ඡායාරූපයක් ගෙන තිබෙනවා.

ඔහු විසින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කරන අයුරු නිරීක්ෂණය කළ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අදාළ විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනය පරික්ෂාවට ලක් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු ඊයේ අදාළ විදුහල්පතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් බවයි වැඩිදුරටත් පොලීසිය පවසන්නේ.