ජනාධිපතිවරණයට කොමිසමේ සුදානම

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව තුළ අනපේක්ෂික කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවිය හැකි ආපදාවන් හේතුවෙන් මැතිවරණ රාජකාරි බාධාවකින් තොරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

ආපදා තත්ත්වයන් ඇති විය හැකි බවට සැකකෙරෙන දිස්ත්‍රික් සඳහා වැඩි අවධානයක් යොමුකරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා සඳහන් කළේ.

හෙට සිට පැය තුනකට වරක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට ද කටයුතු කරන බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර ආපදා මඟින් ජනාධිපතිවරණයට සිදුවිය හැකි බාධා කළමනාකරණය කරගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ මැතිවරණ කොමිෂන් සභාව එක්ව විශේෂ ඒකාබද්ධ වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව අද සිට ලබන 22 වන දින දක්වා එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!