අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සුසිල් ජයතුංග යළි රිමාන්ඩ්

මේ වනවිට නීතිඥ භාවය අත්හිටුවා තිබෙන සුසිල් ප්‍රියන්ත ජයතුංග යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) නියම කළා.

නඩු විභාගයක් පැවැත්වෙන අවස්ථාවේදී ඉදිරිපත් කරනු ලැබූ කරුණුවලින් අධිකරණයට අපහාසයක් සිදු කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සුසිල් ප්‍රියන්ත ජයතුංග පසුව ඇප මත මුදාහැරුණා.

ඒ අනුව අද දිනයේ යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි අධිකරණය නියෝග කළේ.

නියෝගය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේ සානුකම්පිත හේතුන් සැලකිල්ලට ගෙන වගඋත්තරකරු ඇපමත මුදාහැරීමට අධිකරණය තීන්දු කළ බවත් එහෙත් ඔහු ඇප කොන්දේසි කඩ කරමින් කටයුතු කිරීම නිසා ඔහුගේ ඇපය අවලංගු කොට රක්ෂිත බන්ධනාගාර ගත කරන බවයි.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබුවේ විජිත් මළල්ගොඩ, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුන් මඩුල්ල ඉදිරියේදීයි.

නීතිඥ වෘත්තීයේ ආචාර ධර්ම උල්ලංඝනය කිරීම සහ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුට එරෙහිව වෙන් වෙන්ව චෝදනා පත්‍ර දෙකක් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අතර ඒවා විවෘත අධිකරණයේ කියවා දෙනු ලැබුවා.

එම චෝදනාවලට දඬුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුට දැනුම් දුන් අතර එහිදී විත්තිකරු ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කර කරුණු දැක්වීම සඳහා තමන්ට කල් ලබාදෙන ලෙසයි.

එසේම මෙම චෝදනා පත්‍රයේ සිංහල පිටපතක් තමන් වෙත ලබා දෙන ලෙසත් විත්තිකරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සඳහන් කළේ විත්තිකරුට අදාළ චෝදනා පත්‍රය සිංහල භාෂාවෙන්ද විවෘත අධිකරණයේ ඔහුට පැහැදිලි කර දී ඇති නිසා එවැනි පරිවර්තනයක් ලබාදීමට අධිකරණය බැඳී නොමැති බවයි.

කෙසේ වෙතත් අදාළ චෝදනා පත්‍රයේ සිංහල පිටපතක් තිබේ නම් එය විත්තිකරුට ලබාදීමට ඇති හැකියාව සොයා බලන ලෙසත් විනිසුරුවරයා විසින් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට නියම කළා.

ඉන් අනතුරුව මෙම පැමිණිල්ල ලබන ජනවාරි මස 27 වනදා කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!