ශ්‍රේෂ්ඨාධිකරණයේ තනතුරු ගන්න පුද්ගලික නීතීඥයෝ බෑ කියලා

ශ්‍රේෂ්ඨාධිකරණයේ පවතින පුරප්පාඩු සදහා කරන ලද ආරාධනාවන් ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් ප්‍රතික්ෂේප කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනට පුරප්පාඩු දෙකක් පවතින බවත්, එක් පුරප්පාඩුවක් සදහා අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහගේ නම ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති බවත්, ඉතිරි පුරප්පාඩුව සදහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් නමක් යෝජනා කරන ලෙසට නීතිපති පාරින්ද රණසිංහගෙන් ඉල්ලා නොමැති බවද එම පුවත්පත සදහන් කරයි.

මේ අතර පුද්ගලික නීති වෘත්තියේ යෙදෙන නීතිඥයින්ට කළ ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ වර්තමානයේදී ලබන ආදායම හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස කටයුතු කිරීමේදී ලැබෙන වැටුප අතර ඇති විශාල පරතරය සදහන් කරමින් බවද සදහන් වේ.

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්වල අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙක් පුරප්පාඩුව පිරවීමට ඊළඟට සිටින නමුත් ඔහුගේ නම මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවා නොමැති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත සදහන් කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් පිරවීම සඳහා ඔවුන්ගේ උනන්දුව පිළිබඳව විමසීමට නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ද නිල නොවන මට්ටමින් සම්බන්ධ කර ගෙන ඇති නමුත් කිසිවෙකු ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා නොමැති බව ආරංචි මාර්ග උපුටාදක්වන පුවත්පත සදහන් කරයි.

මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව මාස හදක් ඇතුළත විමර්ශන අවසන් කිරීමට තීරණය කර ඇති බවද අනාවරණය වේ. විනය පරීක්ෂණයේදී වැරදිකරු බවට ඔප්පුවීමෙන් පසුව නොච්චියාගම මහේස්‍රාත්වරියගේ සේවය අවසන් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර ඇත. මීට අමතරව වැඩ තහනමට ලක්ව සිටින අධිකරණ නිලධාරීන් පිළිබදව වන පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර ඇති බවද පුවත්පත අනාවරණය කරයි.