ඩෙංගු තුරන් කරන්න කියුබාවෙන් සහය

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා අතර හමුවක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ මිත්‍රත්වය ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කළා.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ලබාගත් ජයග්‍රහණය පිළිබඳව මෙම සුහද සාකච්ඡාවේදී කියුබානු තානාපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබ පැතුම එක්කළා.

එමෙන්ම ජනාධිපතිවරයාගේ නායකත්වය පිළිබඳ ප්‍රශංසා කර ඇති මෙරට කියුබානු තානාපතිවරයා, ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව වැඩි දියුණු කිරීමට කියුබාව සූදානමින් සිටින බව ද සඳහන් කළා.

එමෙන්ම, ඩෙංගු මර්දනය සඳහා ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන් සඳහා කියුබානු රජය අඛණ්ඩව සහාය ලබා දෙන බවටද කියුබානු තානාපතිවරයා සහතික වුණා.

ඩෙංගු උවදුර මර්දනය කිරීමේදී කියුබාව ලබා ඇති සාර්ථකත්වය පිළිබඳ මෙහිදී පෙන්වා දුන් මෙරට කියුබානු තානාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව තුළ ඩෙංගු උවදුර තුරන් කිරීම අරමුණු කරගත් මහජන සෞඛ්‍ය වැඩසටහන් සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බෙදා දීම සඳහා සහයෝගය දැක්වීමට කියුබානු රජය කැමැත්තෙන් පසුවන බව ද සඳහන් කළා.