නව සන්ධානයක් සමගින් අරගලකරුවන් ජනාධිපතිවරණයකට

පාර්ශව කිහිපයක් එක්ව ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් දේශපාලනික වෙනසක් ඇති කිරීම සඳහා අද (19) නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟුවා.

එම නව සන්ධානය නම් කර ඇත්තේ ”ජන අරගලය සන්ධානය” නමින්.

මේ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය,නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය,සමාජවාදී ජනතා සංසදය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් සහ, ජන අරගලය සඳහා සක්‍රික දායක වූ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී වී සිටියා.

කොළඹ විද්‍යා මාවතේ පිහිටි සිංහ සමාජ මධ්‍යස්ථානයේදී එම නව සන්ධානය පිහිටුවනු ලැබුවා.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ දුමින්ද නාගමුව මෙසේ සඳහන් කළා,

”අපිට මේ වෙලාවෙ මතක් වෙන කතාවක් තියෙනවා. ඉසගීන් මැහැල්ල කියලා මක්සිම් ගෝර්කි ලියපු කෘතියක තියෙනවා දංකෝගේ හදවත කියල කතාවක්. ජනතාව මහා කැලේක අතරමං වෙලා සියලු බලාපොරොත්තු අතහැරලා විලාප නගමින් ඉද්දි ඒ ඉරණම බාර නොගත් දංකෝ කියන තරුණයෙක් ඉදිරිපත් වෙලා ඔවුන්ට පාර පෙන්නනවා. දංකෝ හදවත ගලවලා ඒ හදවතේ ආලෝකයෙන් ජනතාවට පාර පෙන්නනවා. ඔහු තුළ තිබුණ මානව දයාව හේතුවෙන් ඔහුගේ හදවත දිදුලනවා. ඒකෙන් ගෝර්කි කියන්නෙ අසීරු අවස්ථාවල ඉදිරිපත් වන මිනිස්සු ගැන සුළුවෙන් තකන්න එපා. ඔවුන් කරන කාර්යභාරය ඉතා විශාලයි.

අද මෙතන ඉඳගෙන ඉන්න අය කවුරුත් නිකම්ම නිකම් ඇවිල්ල වාඩිවෙච්ච අය නෙවෙයි. පහුගිය කාලෙ මේ රටේ ජනතාවගේ ප්‍රශ්නයක් වෙනුවෙන් මොකක්හරි අරගලයක් ක්‍රියාත්මක වුණා නම් ඒ හැම තැනම හිටපු අය මෙතනට ඇවිල්ල ඉන්නවා. මෙතන ඉන්නවා ජාතික පීඩනයට එරෙහිව, ජාතිවාදයට එරෙහිව අරගල කරපු මිනිස්සු, පරිසර විනාශයට එරෙහිව අරගල කරපු මිනිස්සු, තරුණයන්ගෙ අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කරපු මිනිස්සු, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අරගල කරපු මිනිස්සු, ගොවි, කම්කරු, ධීවර සියලුම ආකාරයේ අරගලවල නිරත වුණ ජයග්‍රහණ දිනාදුන්න මිනිස්සු මෙතන ඉන්නවා. අපිට තියෙනවා ඕනෑම ප්‍රතිපත්ති ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන් පැහැදිලි වැඩපිළිවෙළක්. IMF එකෙන් ඉවත් වෙන්න ඕනිද? ඔව් ඉවත් වෙන්න ඕනි. ජාතික ගැටලුවට උත්තරය?

ස්වයං පාලනය. අපි ජන අරගල සන්ධානය විදිහට ඉදිරි ජනාධිපතිවරණයට, මහමැතිවරණයට දෙකටම ඉදිරිපත් වෙනවා. අරගලයේ අපේක්ෂාවන් ඉදිරියට ගෙනයනවා. අපි රනිල්ට කියනවා ඡන්ද නොතියා වෙට්ටු දාන්න ලෑස්ති වෙන්න එපා.”

වසන්ත මුදලිගේ මහතා මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ ,

”2022 ජන අරගලය ඉතිහාසයේ නොමැකෙන මං සලකුණක් තැබුවා. එය ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමේ ඉලක්කය කරා ගමන් කළත් ක්‍රම වෙනසක් පිලිබඳ සටන්පාඨය ජයග්‍රහණය කිරීම දක්වා ගෙන යන්න අසමත් වුණා. අරගලයේදී ජනතාව ඉල්ලා සිටි තවත් ඉල්ලීම් රැසක්, ක්‍රම වෙනසක් ඇතුළු ජනතා අභිලාශ රැසක් දිනා ගැනීමේ සටන තව දුරටත් ඉතිරිව තිබෙනවා. ක්‍රම වෙනසක් ලෙස ජනතාව බලාපොරොත්තු වුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක්, මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ ඉදිරි වර්ධනයක්, මේ ආර්ථික ක්‍රමයේ වෙනසක්. නමුත් රනිල් වික්‍රමසිංහ බලය අරගෙන කරන්නේ පැවතුනු ක්‍රමයම තව දුරටත් විනාශකාරී ලෙස ඉදිරියට ගෙනයන එක.

ප්‍රජාතන්ත්‍රවාදය වගේ ක්ෂේත්‍ර වල තිබුණු තත්වයටත් වඩා නරක තත්වයක් හදන එක. රනිල් – රාජපක්ෂ ආණ්ඩුව අර්බුදය විසඳනවා කියමින් අර්බුදය උග්‍ර කරනවා. රනිල් බලයට එනවිට රටේ ණය ප්‍රමාණය තිබුණේ ඩොලර් බිලියන 84යි. දැන් ඒක ඩොලර් බිලියන 100ට වැඩි වෙලා. ඒ කියන්නේ මේ වසර දෙක ඇතුලේ රට තවත් වලපල්ලට යවලා. එහෙම තියෙද්දී මතයක් හදන්න හදනවා ආර්ථිකය යථා තත්වයට පත්වුණා කියලා. මුලින් කිව්වා රට වැල් පාලමෙන් එගොඩට අරන් යන්න පොඩි කාලයක් දෙන්න කියලා. අන්තිමට වෙලා තියෙන්නේ මොකක්ද? රනිලුයි, රාජපක්ෂලායි, ගජ මිතුරු ධන කුවේරයෝ ටිකයි, අදානිලා අම්බානිලා වගේ ගෝලීය ධනවතුන් ටිකයි එකතු වෙලා, අත් අල්ලාගෙන වැල් පාලමෙන් එගොඩ වෙනවා. ඒ රටේ ජනතාව වැල් පාලමෙන් ආගාධයට ඇද දමලා. කම්කරුවෝ, ගොවියෝ, ධීවරයෝ, සුළු නිෂ්පාදකයෝ, ශිෂ්‍යයෝ, තරුණයෝ මේ හැමෝම හෙලට ඇදලා දාලා. ඕක තමයි අවුරුදු දෙකක ශේෂ පත්‍රය. මෙහෙම ගියොත් රටේ ආර්ථිකයවත් දේශපාලනයවත් ස්ථාවර වෙන්නේ නෑ.

අයි. එම්. එෆ්. වැඩසටහනේ ගිහින් අන්තිමට මොකද වුණේ. ජනතාවට කන්න නෑ, විදුලි බිල ගෙවන්න බෑ, අන්තිමට මේ ගෙවල් කුලී බද්ද ගැහුවම බඩගින්නේ හරි හිටපු ගෙදරත් නැති වෙලා පාරට වැටෙනවා. රටේ නිෂ්පාදනය විනාශ වෙලා රට ණය උගුලක හිර වෙනවා. ඒ වගේම ගෝලීය බලවතුන්ගේ බල පොරයක හිර වෙනවා. මේ විනාශකාරී වැඩපිළිවෙල වහාම හකුළුවන්න ඕන. අපි ඒ ගැන සාකච්ඡා කළා. මුලින්ම අයි. එම්. එෆ්. එකෙන් ඉවත් වෙන්න ඕන, ඉන්දියානු උගුලේ ලංකාව පටලවන එක නතර කරන්න ඕන, ජනතාවගේ දැවෙන ගැටළු වලට විසඳුම් ඕන, රටේ ආර්ථිකය ගොඩ නගන්න ඕන. ඒ සඳහා පුළුල් දේශපාලන වෙනසක් ඕන. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඕන. ජනතාවට දේශපාලන තීන්දු ගැනීමේ බලය ඕන.

සැබෑ ක්‍රම වෙනසක් සඳහා ගමන පටන් ගන්න වෙන්නේ එහෙම. ඒ සඳහා වාමාංශික මූලධර්ම මත පදනම් වැඩපිළිවෙලක් මේ වනවිට හදලා තියෙනවා. අද ‘ජන අරගල සන්ධානය’නමින් එළිදැක්වෙන්නේ එම වැඩපිළවෙල සඳහා එක්වූ දේශපාලන පක්ෂ සහ පසුගිය අරගලයට නායකත්වය දුන් රටට ආදරය කරන අරගලයේ ක්‍රියාකාරීන්ගේ එකතුව. ජන අරගල සන්ධානය නම් මේ නව දේශපාලන සන්ධානය මේ විනාශයෙන් ජනතාව මුදා ගැනීම සඳහා වන ප්‍රායෝගික වැඩපිළිවෙල ඉදිරිපත් කරනවා වගේම ජනතාවට බලය අත්පත් කර දීම වෙනුවෙන් පෙළගැසෙන සියලු බලවේග එක මිටකට එකතු කරනවා. අපි ඉදිරියේදී ප්‍රකාශයට පත්වන සෑම මැතිවරණයකටම ඉදිරිපත් වෙනවා. පාර්ලිමේන්තුවෙන් එළියේ ජන බලය ගොඩ නගන්න වගේම ඒ ජන බලයේ නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කරන්න අපි මැදිහත් වෙනවා.

අපි ජනතාවගෙන් ඉල්ලනවා අර්බුදය ඇතුලේ ගිනිකණ වැටිලා ඉන්නේ නැතිව අපේ දෛනික ප්‍රශ්න විසඳා ගන්නත්, දිගු කාලීන ක්‍රම වෙනසක් සඳහාත්, එළියේ ජන බලය ගොඩ නගන්න වගේම ඒ ජන බලයට පාර්ලිමේන්තුව තුළ බලයක් හිමි කර දෙන්නත් මේ දේශපාලන සන්ධානය වටා, ජන අරගල සන්ධානය වටා එක්වන ලෙසට.’‘ යනුවෙනි.