රන් පදක්කම් 09ක් සමග ශ්‍රී ලංකාව දෙවැනි තැනට

දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (13) දිනයෙන් අවසන් වුණේ ශ්‍රී ලංකාවට සමස්ත පදක්කම් සටහනේ දෙවැනි ස්ථානය හිමි කර දෙමින්.

එම තරගාවලියේ රන් පදක්කම් 21ක්, රිදී 22ක් සහ ලෝකඩ 5 ක් සමඟ සමස්ත පදක්කම් 48 ක් දිනාගනිමින් ඉන්දියාව ශූරයන් බවට පත්වුණා.

ශ්‍රී ලංකාවට එහි දෙවන ස්ථානයට පත්වූයේ රන් 9 ක්, රිදී 9ක්, ලෝකඩ 17 ක් සමග සමස්ත පදක්කම් 35 ක් හිමිකරගනිමින්.

ඉන්දියාවේ පැවති තරගාවලියේ ලෝකඩ පදක්කම් 3ක් පමණක් හිමි කර ගනිමින් බංග්ලාදේශය තුන්වන තැනට පත්වුණා.

පිරිමි 100×4 රන් පදක්කම

දකුණු ආසියාවේ වේගවත් ම යෞවනයා ලෙස පසුගිය දා අභිසෙස් ලැබූ මෙරෝන් විජේසිංහ සමඟින් එක් වූ ශ්‍රී ලංකා මීටර් 100×4 කණ්ඩායම තත්පර 40.28ක කාලයක් සමඟ ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පිරිමි උස පැනීමේ රන්, රිදී ශ්‍රී ලංකාවට

පිරිමි උස පැනීම ඉසව්ව නියෝජනය කළ ලෙසඳු අර්තවිදු විසින් මීටර් 2.17ක උසක් තරණය කරමින් (ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව සහ නව තරග වාර්තාවක්) රන් පදක්කම ජයග්‍රහණය කරනා අතරේ, දිනූශාන් මෙන්ඩිස් මීටර් 2.10ක උසක් සමඟ රිදී පදක්කම ඩැහැ ගැනීමට සමත් වුනා.

පිරිමි මීටර් 200 ඉසව්වෙන් රන් සහ ලෝකඩ

මෙම ඉසව්වට සහභාගී වූ ඉඳුසර විදුශාන් තත්පර 21.33ක කාලයක් වාර්තා කරමින් (නව තරග වාර්තාවක්) රන් පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, තත්පර 21.44ක කාලයක් වාර්තා කළ කෞශාන් තමෙල් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පිරිමි 400×4 රන් පදක්කමත් ශ්‍රී ලංකාවට

මෙම ඉසව්ව නියෝජනය කරමින් ධාවන පිටියට පිවිසි ශ්‍රී ලංකා ධාවකයින් මිනිත්තු 3.09.27ක කාලයක් සමඟ ඉතා පහසුවෙන් ඉසව්ව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පිරිමි තුන් පිම්මේ රන් සහ රිදී ශ්‍රී ලංකාවට

පිරිමි තුන් පිම්ම ඉසව්ව නියෝජනය කළ D.M.H.කාවින්ද මීටර් 15.09ක දක්ෂතාවක් සමඟ ඉසව්ව ජයග්‍රහණය කරනා අතරේ, M.D.S.හංසක මීටර් 14.92ක දුරක් තරණය කරමින් රිදී පදක්කම ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!