පොහොට්ටුවේ ‘පළාත් පාලන සංසදය’ රනිල්ට සහාය දෙයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන සංසදයේ සහාය ජනාධිපතිවරයා වෙත පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන සභාපතිවරුන්ගේ හමුවකට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (07) පෙරවරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී එක් වුණා.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා, ගම සමග සම්බන්ධීකරණයට පළාත් පාලන හිටපු සභාපතිවරුන්ගේ සාමාජිකත්වයෙන් උපදේශක සංවිධානයක් ඇති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කලා.

ඒ අනුව ගම්වල තිබෙන ගැටළු පිළිබඳව සෘජුව ජනාධිපතිවරයාව සහ අගමැතිවරයාව දැනුම්වත් කිරීමට හැකි ආකාරයේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

දැනට රජය ගෙනයන “අස්වැසුම” වැඩසටහන සහ “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනට ඍජුව සහභාගී වන ලෙස හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඊට අවශ්‍ය පහසුකම් සලසා දීමට කටයුතු කරන බව ද කියා සිටියා.

එසේම පළාත් පාලන බල ප්‍රදේශවල සිටින තරුණ තරුණියන් රජයේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ නියමුවන් ලෙස ඉදිරියට ගෙන ඒමේ අවශ්‍යතාවයද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නෑ.

අමාත්‍ය මනූෂ නානායක්කාර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියා..