රටේ ආර්ථිකය තවම තියෙන්නේ ඒදණ්ඩක් මත -ජනපති කියයි

පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ රජය රට තුළ නිර්මාණය කළ එම සහනදායි පසුබිම නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

නමුත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වැඩපිළිවෙළ සමඟ ජයග්‍රහණය තෙක් ඉදිරියට යනවාද, නැත්නම් එම වැඩපිළිවෙළෙන් ඉවත්ව රට නැවත ප්‍රපාතයට ඇද දමනවාද යන්න ජනතාව තීරණය කළ යුතු බවද සඳහන් කළා.

2022 වසර හා සැසඳීමේදී 2023 වසරේ රජයේ ආදායම 50%කට වඩා ඉහළ නංවා ගැනීමට හැකිවී තිබෙන බවත්, ඒ සමඟම ජනතාවටද ප්‍රතිලාභ රැසක් ලබා දී තිබෙන බවත් සිහිපත් කළ ජනාධිපතිවරයා ශක්තිමත් ආර්ථිකයක් සමඟ විශ්වාසයෙන් යුතුව ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බවද පෙන්වා දුන්නා..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය (රත්නපුර මැණික් කුළුන) විවෘත කිරීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක් වෙමින්.

රත්නපුර දෙමුවාවත ප්‍රදේශයේ ඉදිකළ මෙම මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් සකස් කර තිබෙනවා.

එහි පළමු අදියර යටතේ රුපියල් ලක්ෂ 3650ක් වැයකර පස් මහල් ගොඩනැගිල්ලක් ඉදි කර ඇති අතර මෙම කුලුනෙහි දෙවැනි අදියර ලෙස මහල් 14ක් ඉදිකෙරෙන අතර ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් ලක්ෂ 4500ක්.

අද විවෘත කළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විත වන අතර එයින් දේශීය ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරික ස්ථාන 17ක්ද, විදේශීය ව්‍යාපාරිකයන් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් භාවිත කරන අතර මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන ලද ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ මධ්‍යස්ථානයක් වනවා.

එමෙන්ම මෙම මධ්‍යස්ථානය ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොංහි මෙන් ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා ද සැපයීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කරමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටලු විසඳමින් ක්ෂේත්‍රයේ නිරතවූවන්ට ලබාදිය හැකි සහන පිළිබඳ වාර්තාවක් මෙම අප්‍රේල් මාසය අවසන් වන විට ලබාදෙන ලෙස තමා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් පැවසුවා.

එම වැඩපිළිවෙළෙහි වාසිය මැණික් පතල්කරුවන්ටද හිමිවිය යුතු බව තමා දැනුම් දී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!