මොස්කව් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් අධිකරණයට

ඉකුත් සිකුරාදා මොස්කව්හි ක්‍රෝකස් නගර ශාලාවට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, ප්‍රධාන සැකකරුවන් සිව්දෙනා මොස්කව්හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර චෝදනා ගොනුකිරීමට රුසියානු ආරක්ෂක බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඔවුන්ගේ අනන්‍යතාව ද අනාවරණ කර ඇති අතර ඔවුන් සිව්දෙනාම ටජිකිස්තාන ජාතිකයින් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ප්‍රහාරයෙන් සිදුවූ මරණ ගණන 137දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රහාරයෙන් තුවාල ලැබූ 150කට වැඩි පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කෙසේ නමුත් ප්‍රහාරයෙන් අනතුරුව සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව ඊයේ (24) දිනයේදී මොස්කව් හි අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණා.

සැකකරුවන්ගෙන් තිදෙනෙක් මේ වනවිටත් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර සිව්වැන්නා වන 19 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ද රෝද පුටුවක ආධාරයෙන්.

තව ද එම සැකකරුවන් රුසියානු ආරක්ෂක අංශ අත් අඩංගුවට පත් වූ පසු ඔවුන් දැඩි පහර කෑමකට ලක්ව ඇති බවට සාක්ෂි දරන ඡායාරූප ද ලෝක මාධ්‍ය තුළ සංසරණය වනවා.

කෙසේ නමුත් සැකකරුවන් සිව්දෙනා ම එළඹෙන මැයි මස 22වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට අධිකරණය අවසර ලබාදුන් අතර ඉන් පසුව ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් හිමිවෙතැයි මාධ්‍ය වාර්තා පළ වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!