කලකට පසු ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දී විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ලකුණු 328කින්.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 280ක් රැස් කර ගත්තා.

එහි දී මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය මැද ලකුණු 57ට කඩුලු 5ක් බිඳ වැටී තිබූ ශ්‍රී ලංකා ඉනිම, සවිමත්ව එසවීමට නායක ධනංජය සිල්වා සහ කමිඳු මෙන්ඩිස් සමත් වුණේ, ඔවුන් දෙදෙනාගේ ම පිත්තෙන් ලකුණු 102 බැගින් වාර්තා කර ගනිමින්.

ලකුණු 280කට නිමා වූ ශ්‍රී ලංකා පළමු ඉනිමේ, ලකුණු සංඛ්‍යාව ආරක්ෂා කිරීම සඳහා පෙරට ආ ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශ පිතිකරුවන් එකිනෙකා ක්‍රීඩාගාරයට හරවා යැවුවේ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 188කට සීමා කරමින්.

එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු කඩුලු 4ක් බිඳ හෙලූ අතර, කසුන් රාජිත සහ ළහිරු කුමාර කඩුලු 03 බැගින් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකාව, බංග්ලාදේශයට වඩා ලකුණු 92ක් ඉදිරියෙන් දෙවැනි ඉනිම ආරම්භ කළත්, පළමු ඉනිමේ මෙන් ම එහි මුල් පෙළ පිතිකරුවන් නැවත වරක් දැවී ගියේ මැදපෙළ පිතිකරුවන්ට ඉනිම ගොඩනැගීමේ භාර දූර වගකීම පවරමින්.

ඒ අනුව පළමු ඉනිමේ මෙන් ම, දෙවැනි ඉනිමේ ද එම වගකීම හිසින් ගත් නායක ධනංජය සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ඔවුන්ගේ පිති ප්‍රහාරවලින් ශතක රැස් කිරීමට සමත් වුණා.

එහි දී ධනංජය සිල්වා ලකුණු 108ක් ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 164ක් ද රැස් කළා.

මේ අයුරින් ඉනිම දෙකේ ම පිතිකරුවෙකු ශතක වාර්තා කිරීමේ දුර්ලභ අත්දැකීම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ට වසර දහයක පමණ කාලයක පටන් නුහුරු දෙයක් වූ නමුත් ධනංජය සහ කමිඳු විසින්, එක ම තරගයක දී එම අත්දැකීම අලුත් කිරීමට සමත් වුණා.

මේ අතර ඔවුන් එහි දී නැවත වරක් ප්‍රදර්ශනය කළේ, මීට පෙර ලොව අතලොස්සක් ක්‍රීඩක යුගලයක් විසින් පා තිබූ දස්කමක් වීම ද විශේෂත්වයක්.

කෙසේ නමුත් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 418කට නිමා වූයේ, බංග්ලාදේශ කණ්ඩායමට තරගය ජය ගැනීම සඳහා ලකුණු 511ක විශාල ලකුණු පුවරුවක් නිර්මාණය කර දෙමින්.

එම ප්‍රබල ඉලක්කය පසු කර යාම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ පිතිකරුවන්, එකින් එක ශ්‍රී ලංකා පන්දු යවන්නන් විසින් හරවා යවද්දී බංග්ලාදේශය වෙනුවෙන් තනතීරුවේ එක් අන්තයක ස්ථාවර වූයේ මොමිනුල් හක් පමණයි.

ඔහු බංග්ලාදේශය වෙනුවෙන් නොදැවී ලකුණු 87ක් රැස් කළා.

කෙසේවෙතත් බංග්ලාදේශයට මෙම තරගය ජය ගැනීම සඳහා එම ඉනිම ප්‍රමාණවත් නොවූ අතර සියලු ම බංග්ලාදේශ ක්‍රීඩකයන් ලකුණු 182ක දී දැවී ගියේ, ශ්‍රී ලංකාවට ලකුණු 328ක විශිෂ්ඨ ජයක් උරුම කරමින්.

දෙවැනි ඉනිමේ දී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගපන්දුව මනා කාර්යය භාරයක් කළ අතර, එහි දී කසුන් රාජිත කඩුලු 5ක් ද විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් ද ළහිරු කුමාර කඩුලු 2ක් ද ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය තෙක් මෙහෙයවීමට කටයුතු කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!