ලොවම කතා වුණ උර්වෂීගේ ‘රත්‍රන් කේක් එක හැදුවේ’ ලංකාවේ කොල්ලෙක්

ජනප්‍රිය ඉන්දීය රංගන ශිල්පිනී උර්වෂී රවුටෙලාගේ උපන්දිනය පිළිබඳව ලොව පුරා කතාබහට ලක්වුණේ කැරට් 24 රත්‍රන් ආවරණයකින් නිමවුණු කේක් නිර්මාණයක් නිසයි.

උර්වෂීගේ උපන්දිනයට මේ කේක් ගෙඩිය නිර්මානය කර ඇත්තේ ලාංකේය තරුණයකු බව ඔබ නොදන්නවා ඇති.

ප්‍රසන්න කුමාර රාජගුරු නම්වන ඔහු ඩුබායිහි ඇමේසින් කේක් ආයතනයේ හිමිකරුවනවා.

උර්වෂීගේ උපන්දිනය ලොව පුරා ජනප්‍රිය කළ ඒ සුවිශේෂී කේක් නිර්මාණය ගැන ප්‍රසන්න ‘රසඳුන ‘ සමග මෙලෙස අදහස් දක්වා තිබුණා

එම සංවාද සටහන පහතින් කියවිය හැකියි.

“උර්වෂී මට මුලින්ම හඳුනගන්න ලැබෙන්නෙ ආර්. බී. ජී. මැණික්දිවෙල නිෂ්පාදනය කළ ඩුබායි සිහින සැබෑ කරන පාරාදීසය වැඩසටහන නිසා. ඇය මීට කලිනුත් උපන්දින කේක් එකක් අපේ ආයතනයෙන් නිර්මාණය කරගත්තා. ඒත් ඒක මේ තරම් වයිරල් වුණේ නෑ. ඒ කන්ටැක් එක නිසා මේ පාර ඇය ඩුබායි එන්න කලින්ම මට කතා කරලා මේ වගේ කේක් එකක් ඕන කියල කිව්වත් ඒක හදන විදිහ ගැන ඇයට අවබෝධයක් තිබුණෙ නෑ. ඇයට තිබුණේ මේ උපන්දිනය විශේෂ එකක් කරගැනීමේ අරමුණ විතරයි.

ඇයට ඕන කළේ මෙතෙක් කවුරුත්ම නොකළ ප්ලවර්ස් සහිත එඩිබල් රියල් ගෝල්ඩ්වලින් චොකලට් කේක් එකක් නිර්මාණය කරන්න. යන වියදම ගැන ඇයට කිසිම ගැටලුවක් තිබුණෙ නෑ. නැවත කිසිවකු වෙනුවෙන් මෙවැනි නිර්මාණයක් නොකිරීමේ වගකීම විතරක් ඇය මා මත පැවරුවා. කේක් එක සම්පූර්ණයෙන්ම ඩිසයින් කළේ මං. ආර්ට් වර්ක් එක ඇයට යවල ඇගේ අනුමැතිය ඇතිව තමයි මේක කළේ.

ලේයර්ස් තුනකින් සමන්විත කේක් එකේ පිටත සම්පූර්ණයෙන්ම එඩිබල් රියල් ගෝල්ඩ් ආලේපිතයි. ඇතුළත චොකලට් මිශ්‍රණයටත් එඩිබල් රියල් ගෝල්ඩ් මිශ්‍ර කිරීමේ අවශ්‍යතාව ඇයට තිබුණා. ඇගේ අදහසට අනුව ඇමේසින් කේක් ආයතනය ඇය වෙනුවෙන් මේ නිර්මාණය කළා. කේක් එක දකින හැමෝම ඇමේසින් කියද්දි මගේ ආයතනයේ නමට නිකන්ම වාව් එක ලැබෙනවා.“

උර්වෂී ජනප්‍රිය ගායක යෝ යෝ සිං හා එක්ව උපන්දින කේක් එක කැපීමේ ඡායාරූප සමාජ මාධ්‍යවල වේගයෙන් පැතිර යෑම හා සමානව තම නිර්මාණය ද ලොවට ප්‍රදර්ශනය වූ බව ප්‍රසන්න අප හා පැවසුවේය.

“උර්වෂීගෙ අලුත්ම ගීතය රිලීස් වුණෙත් ඇගේ උපන්දිනය දවසෙමයි. ඒ ලොකේෂන් එකේම ජනප්‍රිය ගායක යෝ යෝ සිං එක්ක එකතුවෙලා කේක් එක කපන ජායාරූප ස්ටෝරි එකක් විදිහට ඉන්ස්ටග්‍රෑම් එකට අප්ලෝඩ් කරද්දි උර්වෂී ඇමේසින් කේක් ආයතනය ගැනත් සඳහන් කරල තිබුණා.

ඒක ඉන්දියාවෙ හැම චැනල් එකකම ප්‍රචාරය වුණා. හැම පුවත්පතකම පළ වෙලා තිබුණා. ඉන්දියාවෙ රේඩියෝ චැනල් කිහිපයකින්ම මාව ඉන්ටර්වීව් කළා. ඉන්දියාවෙ මේ වගේ නිර්මාණයක් කළ පළමු අවස්ථාව මේක. ඒකයි විශේෂත්වය. ඒක වයිරල් වෙද්දි ඩුබායිවල ඉන්න ප්‍රසිද්ධම යූටියුබර්ගෙ උපන්දින කේක් ඕඩරයත් ඇමේසින් කේක් ආයතනයට ලැබුණා. ඔහු වෙනුවෙන් අපි නිර්මාණය කළේ Mercedes–AMG G 63 වර්ගයේ මෝටර් රථයක් “

අනේක විද දුෂ්කරතා මතින් පැමිණි ගමන මල් මාවතක් නොවූ බව පැවසූ ප්‍රසන්න තම උත්සාහයෙන් ජීවිතය ජය ගන්නට වෙර දරන ඕනෑම අයෙකුට මෙය ආදර්ශයක් විය හැකි බව ද පැවසීය.

“මාතලේ ඉපදුණු මං මේ තැනට එන්න ලොකු කැපකිරීමක් කළා. මාතලේ විජයපාල විද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ ඉඳන්ම මට තිබුණෙ සංගීත පිස්සුව. ඒ නිසාම මං නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමටත් සම්බන්ධ වුණා. මට සංගීත භාණ්ඩ ගණනාවක් වාදනය කිරීමේ හැකියාව තියෙනවා.

මං වාදනය කළේ සැක්සෆෝන් එක. ඒ හීන ඔක්කොම අතහැරල මං ඩුබායි ආවෙ අයිස්ක්‍රීම් කම්පැණි එකක සේල්ස් එක්සෙකටිව් කෙනෙක් විදිහට. ඊට පස්සෙ Starbucks කොෆි කම්පැණි එකට සම්බන්ධ වුණා සුපවයිසර් කෙනෙක් විදිහට. අවුරුදු 4ක් ඇතුළත මං ඒකෙ ජෙනරල් මැනේජර් බවට පත්වුණේ මහන්සියෙන් අවංකවම වැඩ කළ නිසා. ඒ අතරේ මට මැනේජර් කෙනෙක් විදිහට ප්‍රෙන්ච් කේක් කම්පැණි එකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.

සාමාන්‍යයෙන් මෙහේ තනතුරක් දරද්දි ඒ සම්බන්ධ සියලු දේ දැනගත යුතුයි. එතැනදි තමයි මං කේක් ගැන සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තෙ. ඊට පස්සෙ මගේම කියල දෙයක් පටන්ගන්න ඕන කියන සිතුවිල්ල ආවා. ඒ සඳහා මට ආයතනයේ සම්පූර්ණ සහයෝගය ලැබුණා. අද ඕනම කෙනෙක් කාලා ඇමේසින් කියන්න අමතක නොකරන මගේ ඇමේසින් කේක් කම්පැණි එක පටන් ගත්තෙ එහෙමයි. ඇමේසින් කියන නමට සාධාරණය ඉටු කළා කියන සතුට අද මා ළඟ තියෙනවා.

මං තනියම පටන් ගත්ත ආයතනය ඉතාම කෙටි කාලෙකදි හතර දෙනෙකුගෙන් සමන්විත වුණා. මේ වෙද්දි එය 18 දක්වා වැඩි වෙලා. කාර්ය මණ්ඩලය තමයි හැමදාම මගේ පළමු තැන. මමත් බිංදුවේ ඉඳන් ආපු කෙනෙක්. මං වැඩකළ ආයතනවලින් මට හොඳට සලකපු නිසා තමයි මගෙන් හොඳ සේවයක් ඔවුන්ට ලබාගන්න පුළුවන් වුණේ. ඒ වගේම තමයි කස්ටර්මර්ස්ල ගැන තියෙන වගකීමත්.

මගේ අධීක්ෂණයෙන් තොරව කිසිම ඕඩරයක් ආයතනයෙන් පිටට යන්නෙ නැහැ. කාර්ය මණ්ඩලය මට සීයයට සීයක් විශ්වාසයි. ඒත් අතපසුවීමකින්වත් වරදක් නොවීමයි මගේ අරමුණ. මගේ මුල්ම කස්ටර්මර් අදටත් මා ළඟ ඉන්න හේතුව ඒකයි. මගේ දියුණුවේ රහස තියෙන්නෙ එතන. මේ වෙද්දි ඩුබායිවල තවත් අවුට්ලට් දෙකක් විවෘත කරන්න සූදානම්. ඉදිරියේදී අනෙක් රටවලට ව්‍යාප්ත කිරීමේ හැකියාව ලැබේවි. ලෝකෙ කොහේ හිටියත් හදවත තියෙන්නෙ ලංකාවෙ.“

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!