ජනපතිගේ මැදිහත්වීමෙන් ‘වතු කම්කරු වැටුප’ ඉහළ දැමීමට වැඩ පිළිවෙලක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගන්නා අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීමට අදාලව හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු කම්කරුවන් නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාව අතරතුරදීයි.

මෙම යෝජනාව සම්බන්ධයෙන් වතු වෘත්තීය සමිති සඳහන් කර සිටියේ තමන්ට එහි කරුණු සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි බවයි. ඒ අනුව තමන් ඉල්ලා සිටින දෛනික වැටපු වැඩි කිරීම ලබාදෙන ලෙසටද වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටිනු ලැබුවා. වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතිතුමා කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

මේ අතර වතු කම්කරුවන් මුහුණ දෙනු ලබන ගැටලු සම්බන්ධයෙන්ද වතු වෘත්තීය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාව දැනුවත් කර සිටි අතර එහිදී නව රැකී රක්ෂා පනත මගින් වතු කම්කරුවන්ගේ වෘත්තීය අයිතීන් ආරක්ෂා කිරීමට විශේෂයෙන් පියවර ගන්නා බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මෙම අවස්ථාව සඳහා ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් , පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා ඇතුළු වතු වෘත්තීය සමිති නියෝජිතයින් රැසක් එක්ව සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!