රුපියල් 30ක් නිසා සතියකට ‘කොන්දොස්තරවරුන් 30කගේ පමණ’ වැඩ තහනම්

ඇතැම් බස් මගීන්ට ටිකට් පත් ලබා නොදී ගමන් ගාස්තුව ලබාගෙන වංචා කිරීමේ චෝදනා හේතුවෙන් සතියකට ශ්‍රී ලංගම කොන්දොස්තරවරුන් 30 දෙනකු පමණ වැඩ තහනමට ලක්වන බව වාර්තා වනවා.

බොහෝ විට අවම බස් ගාස්තුවේ දුරට ගමන් කරන මගීන්ට සමහර කොන්දොස්තරවරුන් ටිකට් නිකුත් නොකරන බව මෙහිදී හෙළිවී තිබෙනවා.

අහඹු ලෙස බස් රථවල ජංගම පරීක්‍ෂණ සිදු කරන අවස්ථාවලදී ඇතැම් ලංගම ඩිපෝවල දෛනික ආදායම රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ තුන දක්වා ප්‍රමාණයකින් ඉහළ වන බවයි වාර්තා වන්නේ.

දිවයින පුරා ලංගම ඩිපෝ 107ක් ඇති බවත්, මෙම වංචාව වැඩිපුරම සිදුවනුයේ බස්නාහිර, දකුණ හා වයඹ පළාත්වල ඩිපෝවල සේවය කරන ඇතැම් සේවකයන් අතින් බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!