තම රජයක් යටතේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් අධිකරණයට – අනුර කැනඩාවේ දී කියයි

තම පාලනයක් යටතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පවත්වා, වැරදිකරුවන්ව අධිකරණය හමුවට පමුණුවීමට සහතික වන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

කැනඩාවේ වැන්කුවර් නුවර දී පැවති ජන හමුවේදී යි දිසානායක මහතා මේ බව සඳහන් කළේ.

තව ද ඉකුත් දා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, දිසානායක මහතා සඳහන් කළේ, ” දැන් මෛත්‍රීපාල සිරිසේන කිවුවා එයා කවුද කියලා දන්නවා කියලා. මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා. ඔහු මාස 17ක් ප්‍රහාරයන් පස්සේ බලයේ සිටියා. ජනතාව ජන වරමකින් ආරක්ෂාව පිළිබඳ වගකීම ඔහුට බාරදී තිබුණා. ඒ නිසා තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලක්ෂ 100ක වන්දියක් ගෙවන්න නඩු තීන්දුව දුන්නේ. ව්‍යවස්ථාවෙන් තමන්ට පැවරී තිබෙන වගකීම අත්හැරීම පිළිබඳව ඔහු වරදකරුවෙක්. ඔහු දැන් කියනවා “මම දන්නවා” කියලා. “මට ජීවිත තර්ජනයක් එයි” එයාගෙ ජීවිතේ විතරද ජීවිතේ. ජීවිතවලින් තුවාලකරුවන්ගෙන් විතරක් නොවෙයි අපරාධය මනින්න පුළුවන්. ඒ අපරාධය විසින් සමාජයක් දෙකඩ වුණා. මුස්ලිම් ජනතාවට පාරට බහින්න නොහැකි වුණා. ඒ නිසා එයාව ප්‍රශ්න කරන්නත් ඕනෑ. “ යනුවෙන්.

තව ද එම ජන හමුවේ දී ජාතික ජන බලවේගයේ නායකයා මෙසේ ද සඳහන් කළා.

“පාස්කු ප්‍රහාරය පිළිබඳ අලුත් පරීක්ෂණ තවදුරටත් අවශ්‍ය නැහැ. ප්‍රහාරයේ කරන ලද පරීක්ෂණවලින් මතුවී තිබෙන ගැටලු කිහිපයක් තිබෙනවා. සහරාන්ලගේ පළමු ප්‍රහාරය වුණේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කොට අවි ආයුධ පැහැර ගැනීම. මේ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් කරගෙන යනකොට, ඊට දවසකට පස්සේ ඒ පොලිස් නිලධාරීන් ඝාතනය කරපු මුරපොළ ආසන්නයේ බෝක්කුවක් යට ජැකට් එකක් තිබුණා. පොලිස් සුනඛයන් දාලා මේ ජැකට් පිටුපස්සේ ගෙනිච්චා. ඒක ආනන්දන් කියලා හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකුගේ නිවසක් හමුවුණා. ඔක්තෝබර් මාසේ 28 වගේ සිදුවුණු නිසා, එම පරීක්ෂණය යොමු වෙන්න පටන් ගත්තා එල්.ටී.ටී.ඊ. එකට යොමු කරන ලද ප්‍රහාරයක් බවට ගෙතුවා. පරීක්ෂණයෙන් හෙළිවෙන්න ඕනෙ කවුද ඒ ජැකට් එක දැම්මේ. සහරාන්ගේ දිසාවට පරීක්ෂණය යොමු වෙනවා වෙනුවට, වෙන දිසාවකට යොමු කළේ කවුද? පළමු ප්‍රශ්නය එයයි.

තාජ් සමූද්‍රා හෝටලයේ පුපුරවා ගන්න ආව ජමීල් නැමැති පුද්ගලයා, එය පුපුරවා ගන්නේ නැතිව දෙහිවල ප්‍රදේශයේ ලැගුම් හලකට යනවා. ලැගුම්හලේ බෑග් තියලා ආසන්නයේ වූ පල්ලියට එනවා. මෙයාගේ හැසිරීම නිසා කට්ටිය කලබල වෙනවා. පල්ලිය මුරකළ විශ්‍රාමික පොලිස් නිලධරයා මොහුව ප්‍රශ්න කරනවා. ඔහුගේ හැඳුනුම්පත දී ඔහු යනවා. මුරකරු ජමීල්ගේ බිරිඳට කෝල් එකක් ගන්නවා. බිරිඳ පිළිගන්නවා ඔහු තමන්ගේ මහත්තයා බවට. එතකොට මෙයාව යවනවා. ගිහින් එයා හෝටලයේදී පුපුරවා ගන්නවා. ඊට මොහොතකට කලින් අර මුරකරුගේ දුරකථනයට කෝල් එකක් එනවා. ඒ කෝල් එක එන්නේ ජමීල්ගේ ගෙදරට බුද්ධි අංශ නිලධාරීන් ගිහින් තිබෙනවා. එතකොට පුපුරවා ගැනීමට පෙර බුද්ධි අංශ නිලධාරීන් ජමීල්ගේ ගෙදර ගියේ. ඒක දෙවැනි ප්‍රශ්නයයි.

තුන්වෙනි ප්‍රශ්නය මේ ප්‍රහාරය අයි.එස්.එස්. ආරම්භයේදී බාර ගත්තේ නැහැ. ඒ ගොල්ලෝ දිවුරුමක් දෙන්න ඕනෑ. ඒ දිවුරුම දුන්නේ නැහැ කියලා, ඒගොල්ලෝ බාර ගත්තේ නැහැ. මාතලේ සිටියා පොඩි සහරාන් නැමැත්තෙක්. එයා මැලේසියාවේ ඉන්න කෙනෙකුට කතා කරලා කියනවා, මේක බාරගන්න කියලා. බාර ගන්නේ නැහැ. ඊට පස්සේ දිවුරුමක් දෙන ඡායාරූපයක් ඒගොල්ලෝ ප්‍රසිද්ධියට පත්කරනවා. ඡායාරූප ප්‍රසිද්ධියට ප්‍රකාශයට පත්කළාට පස්සේ ප්‍රහාරය ඒගොල්ලන්ගේ කියලා බාර ගන්නවා. අර පොඩි සහරාන්ට දුරකථන ඇමතුමෙන් කතා කරලා කියලා තිබෙනවා, මේක අයි.එස්.එස්. ප්‍රහාරයක් කියලා බාර ගන්න කියලා බල කරන්න කියලා. අන්න ඒ කිවුවේ කවුද? ඒ කවුද යන්න වාර්තාවල සඳහන් වෙලා තිබෙනවා.

මේ තොරතුරු අප්‍රේල් 4 එනවා. අප්‍රේල් 8 එනවා, අප්‍රේල් 16 එනවා. අප්‍රේල් 21 ප්‍රහාරය දවසේ උදේ හතට එනවා, ගහන්නේ පල්ලිවලට සහ හෝටල්වලට කියලා. මේ තොරතුරු ඉතාම සමීපතම තැනකින් තමයි එන්න ඕනෑ. ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ආවේ නැහැ. බත්තරමුල්ල ප්‍රදේශයේ කඩයකින් සපත්තු සහ බෑග් මිලදී ගන්නවා, ඒ තොරතුරු ආවා නම් ප්‍රහාරකයට කලින් අත්අඩංගුවට ගන්න පුළුවන්. පානදුර ප්‍රදේශයේ නිවසක් බදු කුලියට ගන්නවා. පානදුර ප්‍රදේශයේ ලැගුම්හලකට ගිහිල්ලා මරාගෙන මැරෙන බෝම්බ සූදානම් කරනවා. ඒ තොරතුරු ආවා නම් ප්‍රහාරයට කලින් අත්අඩංගුවට ගත හැකි වෙනවා. පුපුරන ද්‍රව්‍ය සකස් කරන්නේ පානදුර නිවසකදී. උදේ හතට ගහනවා කියන තොරතුරු එනවා නම් ඇයි අර තොරතුරු එන්නේ නැත්තේ. පරීක්ෂා කරන්න ඕනෑ. ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා අවශ්‍ය වෙන ශක්තිමත් තොරතුරු සඟවා ප්‍රහාරය වෙන්න ඉඩදී තොරතුරු එව්වාද? මේක හතරවෙනි ප්‍රශ්නය. මේකත් පරීක්ෂා කරන්න ඕනෑ. මේ තොරතුරු හෙව්වොත් ප්‍රහාරකයන් කවුද කියා සොයා ගත හැකියි.

ඔබ අපෙන් සාධාරණය ඉල්ලුවා. මේ පිළිබඳව පරීක්ෂණ කරලා, නිසි වැරදිකරුවන් අධිකරණය හමුවට පමුණුවන බවට අපි ඔබට සහතික වෙනවා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!