පාසල් ක්‍රිකට් සංගමයේ නිලවරණයේ අත යට ගනුදෙනුවක් එළියට

පාසල් ක්‍රිකට් සංගමයේ නිලවරණය මෙම මස 22 වැනිදා පෙරවරු 9.00ට බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මෙවර නිලවරණය අන් කවරදාටවත් වඩා තියුණු ස්වභාවයක් ගෙන ඇති අතර, එය ගාලගෝට්ටියක් වන ලකුණු දැන් දැන් පෙරනිමිති පල කර තිබෙනවා.

මෙහි දී සභාපති අසුන සඳහා වත්මන් සභාපති කොලඹ රාජකීය විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා මහතාගේ පාර්ශ්වය නියෝජනය කරමින් හිටපු සභාපතිවරයෙකු වන කොලඹ ඉසිපතන විදුහලේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න මහතා නාමයෝජනා ලබාදී ඇති අතර, ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වනුයේ ජගත් සේනාරත්න මහතායි.

ඔෂාර පණ්ඩිතරත්න මහතාගේ පාර්ශ්වයේ ලේකම්වරයා වන්නේ පී. ඒ. ලීලානන්ද කුමාරසිරි මහතායි. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වනුයේ මලික් කීර්ති මහතායි.

පාසල් ක්‍රිකට් සංගමයේ මෙවර නිලවරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තණතීරු සකසන ප්‍රධානියා ඍජුව මැදිහත් වී ඇති අතර, ඔහුගේ පුත්‍රයා ඉගෙනුම ලබන පාසලේ කණ්ඩායම (කැලණිය ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක්) තහනමෙන් බේරාගැනීමට අත යට මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පාසල්වල ක්‍රීඩා භාර ආචාර්යවරුනට කන්න බොන්න දී වෙනත් වරදාන වරප්‍රසාද ලබාදී එක් පාර්ශ්වයකට චන්දය ලබාදීමට බලකිරීම සහ එවැනි පහළ තත්ත්වයකට ඇද දැමීම සම්බන්ධයෙන් බොහෝ ක්‍රීඩා භාර ආචාර්යවරු කලකිරීමෙන් පසුවන බව අනාවරණය වේ.

මෙම කටයුතු මෙහෙයවීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තණතීරු සකසන ප්‍රධානියා පිටුපස පාසල් ක්‍රිකට් සංගමයේ මුදල් වංචා කරමින් විනය පරීක්ෂණයකින් වැරදිකරු වූ පාසල් ක්‍රිකට් හිටපු ලේකම්වරයකුද වන බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!