එජාපය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් නැවතත් පක්ෂයට

විවිධ හේතූන් මත එක්සත් ජාතික පක්ෂය හැර ගිය පාක්ෂිකයින්ගෙන් 90%ක් පමණ යළි පක්ෂය සමඟ එක් වීමට සූදානමින් සිටින බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා  අවධාරණය කරනවා.

එම පාක්ෂිකයින් එළඹෙන ලෝක කම්කරු දිනයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජන බලය රටට පෙන්වා දෙන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (4) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනපති කරවා රට ගොඩනගා ජනතාව සවි බල ගන්වන ඉතිහාසයේ බලවත්ම සහ පුළුල්ම දේශපාලන සන්ධානය සුදුසුම වේලාවේ දී එළි දක්වන බවත්,පටු දේශපාලන සහ බල අරමුණු වෙනුවෙන් මේ වන විට හතු පිපෙනවා වගේ බිහි වන ජන පදනමක් නොමැති දේශපාලන සන්ධානවලින් රටට-ජනතාවට කිසිදු ඵලක් නැති බවත්, එවැනි දේශපාලන සන්ධාන බිහිවන වේගයට වඩා වැඩි වේගයකින් බිඳ වැටෙමින් පවතින බවත් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළා.

එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව සහ බල සම්පන්නව බලයේ සිටි අවස්ථාවේ සෑම අවස්ථාවකදී ම රට සංවර්ධනය වූ අතර පක්ෂය දුර්වල වූ සියලු අවස්ථාවල දී රට බංකොලොත් වූ බවත්,ඇපකැප වී වැඩ කරමින් ,රට ගොඩනගා, ජනතාව සවි බල ගන්වන දක්ෂයින්ගෙන් යුතු දේශපාලන සන්ධානය නිර්මාණය කරමින් සිටින බවත්, රට වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීමට නොහැකි, දැක්මක් සහ වැඩ පිළිවෙළක් නොමැති පාර්ශව සමඟ සන්ධාන ගොඩනගා තේරුමක් නැති බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!