”හිල් මැකූ අය වැය” ඉදිරිපත් කළ රොනී අද සමුගනී.

ලාංකේය දේශපාලනයේ එක්තරා සුවිශෙෂී අවදියක් නියෝජනය කළ ප්‍රමුඛ පෙලේ දේශපාලනඥයෙක් වූ රොනීද පසුගිය අඟහරුවාදා (පෙබ: 27) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

රොනී අය වැය ඉදිටිපත් කරමින්

මිය යන විට 98 වන වියේ පසු වූ ඔහු 1977 බලයට පත් ජේ.ආර්. ජයවර්ධනගේ රජයේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා විය . දීර්ඝ කාලයක් මුදල් අමාත්‍ය ධුරය දරූ ඔහු ලෝකයේ වැඩිම අයවැය ලේඛණ සංඛ්‍යාවක් ඉදිරිපත්කළ මුදල් ඇමතිවරයා ලෙස සැලකේ.
පරිපාලන නිලධාරියෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කර ඇති රොනී ද මෙල්, පසුකාලීනව වඩාත් කතාබහට ලක්වූ ප්‍රබල දේශපාලනඥයෙකු බවට පත්විය. රොනී ද මෙල් උපත ලබා ඇත්තේ, 1925 වසරේ අප්‍රේල් 11 වන දා ය.රොනී ද මෙල් යනුවෙන් සිය නම භාවිත කළ ද, ඔහුගේ සැබෑ නම රොනල්ඩ් ජෝසෆ් ගොඩ්ෆ්‍රි ද මෙල් ය.

රොනී ගේ දෙමාපියන් වූයේ, රොජට් ද මෙල් සහ ග්ලැඩිස් මෙන්ඩිස් දෙපළ ය. ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු ලංකා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්තේ ය.ඉංග්‍රීසි, ලතින්, ග්‍රීක් සහ ඉතිහාසය ඔහු විශ්වවිද්‍යලයෙදි හැදෑරීය. 1948 වසරේදී ලංකා සිවිල් සේවයට එක්වූ ඔහු, කර්මාන්ත දෙපාර්තමේන්තුව, වවුනියාව කච්චේරිය, පුත්තලම කච්චේරිය සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව යන ආයතනවලට අනුයුක්තව සේවය කළේ ය.

ජේ. ආර්. සමග තේපැන් සාදයකදී

1950 වර්ෂයේදී ඔහු කම්කරු හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වැඩබලන සහකාර ලේකම්වරයෙකු ලෙස පත් කරනු ලැබූ අතර, 1952 වසරේදී එහි නිත්‍ය සහකාර ලේකම්වරයෙකු ලෙස පත් කරන ලදී. පසු කලෙක ඔහු ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙස ද සේවය කළේ ය. ඔහුගේ රාජ්‍ය සේවය 16 වසරකට සීම විය. 1964 සිවිල් සේවයෙන් විශ්‍රාම ගත් ඔහු අනතුරුව ශ්‍රී.ල.නි.ප යට එක්ව දේශපලනයට පිවිසුනි.

1965 වසරේදී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් බිබිලේ ආසනයට තරග කරනා ඔහු එහිදී එ.ජා.ප. යේ ධර්මදාස බණ්ඩා හමුවේ පරාජය ලබන්නේය. එහෙත් 1970 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවිනුවර අපේක්ෂකයා ලෙස තරග වදිමින් පාර්ලිමේන්තුවට තේරී පත් වන්නට රොනී සමත් වන්නේය.

1977 වසරේදී ඔහු යළිත් දෙවිනුවරින් පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රි වරයා ලෙසිනි. ඔහුගේ පිල් මාරු දේශපාලනය නිසා ” රොනී පනී” යන සිරස්තළය බොහෝ සේ ජනප්‍රිය විය . එක්සත් ජාතික පක්ෂ රජය ශ්‍රී ලංකාවේ එතුවක් පැවැති ආර්ථික මොඩලය මුළුමනින්ම වෙනස් ක‍රමින් විවෘත ආර්ථික ක්‍රමය රටට හඳුන්වා දීමට කටයුතු කළ අතර එහි පුරෝගාමී මෙහෙවරක නියැලිමේ වගකීම රොනීට හිමි විය . 1977 වසරේ සිට 1988 වසර දක්වා වසර 11ක් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රජයේ මුදල් අමාත්‍ය ධූරය දරමින් රොනී පරිවර්ත යුගයකට නායකත්වය දුන්නේය.

ශ්‍රී ලංකාවේ නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය ස්ථාපනය කිරීම සඳහා මූලික මෙහෙවරක් කළ රොනී ද මෙල් දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේ ය.

නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවේ ඇති කිරීම සම්බන්ධයෙන් පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ ඔහු, වික්ටෝරියා, රන්දෙණිගල ආදී දැවැන්ත ව්‍යාපෘති, නිදහස් වෙළෙඳ කළාප ආදිය ඉදිකිරීම සඳහා යුරෝපා රටවල සහ මෙරිකාව වැනි ප්‍රබල රටවල් සමග සාකච්ඡා කර අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීමට සමත් විය. ඒ යුගයේ කර්මාන්ත අමාත්‍ය ධුරය හෙබවූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හඳුන්වදුන් ආයෝජන ප්‍රවර්ධන කළාප සාර්ථක කර ගන්නට රොනීගෙ කැපවීම ඉවහල් විය. මාතර රුහුණු විශ්ව විද්‍යාලය ඉදිකිරීමට මුල්වූ රොනී දකුණු පළාත වෙනුවෙන් විශාල සේවාවක් කළ නායකයෙකි.

පරිවර්තන යුගයක නියමුවන් – රොනී සහ රනිල්

හාල් නැතිව බත් කන, සීනි නැතිව තේ බොන තැනට පසු බස්සවා තිබූ ජන විඥ්ඥානයක් ධනාත්මක ලෙස විවෘත ආර්ථික මාවතකට හැසිරවීම ලෙහෙසි පහසු කාර්යක් නොවිය. එහෙත් රොනී ඊට නොබියව අත ගැසුවේය. සුබසාධක රාජ්‍යක් ලෙස දිගටම ශ්‍රී ලංකාව පවත්වාගෙන යාමට එරෙහිවූ ඔහු බොහෝ දෙනෙක් අතගැසිමට බිය වූ ඔහු හාල් පොත නමින් හැඳින්වූ සහල් සලාකය කපා දමන්නට තරම් එඩිතර දේශපාලනඥයෙක් විය.

එහෙත් රොනීගේ ආර්ථික ක්‍රමවේදය බොහෝ මාධ්‍ය වේදීන්ගේ නිර්දය විවේචනයට ලක් විය. ඇත්ත පත්තරේ රොනීගේ ආර්ථික ප්‍රතිපත්තිය දැඩිව හෙළා දැක්කේය. වරක් ඔහුගේ අය වැය ලේඛනයකට පසු ඇත්ත අපූරු සිරස් තළයක් ගෙන අවේය. එදා ඇත්ත කතුවරයා රොනීගේ අයවැය හැඳින්වූයේ ”හිල් මැකූ අයවැයක්” ලෙසය. එහි සැබෑ අරුත වටහාගන්නට නම් අකුරු එහා මෙහා කළ යුතු විය. එහෙත් ඇත්තේ නිර්දය පහර දීම විඳගන්නට තරම් රොනී නිහතමානි විය. පසු අවස්ථාවක ඔහු පවසා තිබුනේ තමා ඇත්තටම ආර්ථිකයේ හිල් මැකූ බවය . මාධ්‍ය සමග යහමත් සබඳතවයක් පවත්වාගෙන ගිය ඔහු, මුදල් අමාත්‍යංශය යටතේ තිබූ මහජන බැංකුව මගින් ”කල්පනා” නමින් සඟරාවක්ද ප්‍රකශයට පත් කළේය. රොනීගේ තවත් අළුත් සංකල්පයක් වු කල්පනා මුලින්ම අලවි වූයෙ රුපියල් පහකට බව ලියුම් කරුගේ මතකයයි . ප්‍රවීන මාධ්‍යවේදි ගුණදාස ලියන්ගේ වීසින් සංස්කරණය කරනා ලද කල්පනා සඟරාව ලාංකේය මාධ්‍ය ආතර සුවිශේෂි අනන්‍යතාවයන් දිනාගන්නට සමත් විය.

අදටත් ශ්‍රි ලංකාව ගමන් කරමින් සිටිනුයේ රොනී වීසින් හෙළිකළ මාර්ගයේය. දකුණු ආසියානු කළාපයට විවෘත ආර්ථිකය ගෙන එන්නට මුල් වූයේ ඔහුය. ශ්‍රි ලංකවට වඩා වසර දහයක් පසු පසින් එම මාර්ගයට පිවිසි බංග්ලාදේශය අද වන විට ශ්‍රී ලංකාව පසු කර ගොසිනි. වියට්නාමය ඇතුළු තවත් ආසියානු රටවල් ගණනවක්ද ශ්‍රී ලංකාව පසුකර යාමට සමත්ව ඇත. එහෙත් වංචනික දේශපාලනඥයන්, දූෂිත රාජ්‍ය නිළධාරින් නිසා ශ්‍රී ලංකාව අදවන විට බංකොළොත් රාජ්‍යක් බවට පත්ව ඇත. එපමනක්ද නොව ජේ.ආර්, රනිල්. රොනී, ආර්. ප්‍රේමදාස වැනි නායකයන් අනුකරණය කරමින් විවෘත ආර්ථිකයට පිවිසි බංග්ලාදේශය වැනි රටවලින් ණය ඉල්ලන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත.

තමා විසින්ම ආරම්භ කළ රුහුණු විශ්ව විද්‍යාල භූමියෙදී රොනීගෙ අවසන් කටයුතු අද දිනයේ පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් අද දකුණු පළාතේ ශෝක දිනයක් ප්‍රකාශයට පත්කර ඇත.

ජීවක ජයසිංහ.