හැඩ තරමට හොඳ නැති Icon of the Seas නෞකාවට පරිසරවේදීන්ගේ විරෝධය.

Every night in my dreams

I see you, I feel you

That is how I know you go on

Far across the distance

And spaces between us

You have come to show you go on….

1997 වර්ෂයේ දී ජේම්ස් කැමරන් විසින් අධ්‍යක්ෂණය කරන ලද ටයිටැනික් සිනමාපටයේ අඩංගු මෙම ගීතය ඇසෙත්ම අපේ මතකයට නැගෙන්නේ, ජැක් සහ රෝස්ගේ ප්‍රේම වෘත්තාන්තයයි . 1912 අප්‍රේල් මස 15 වනදා අළුයම උතුරු අත්ලාන්තික් සාගරයේ නිව්ෆවුන්ඩ් ලන්තයට නොදුරුව ගිලීගිය ටයිටෑනික් නෞකාවේ ගමන් කරමින් සිටි ජැක් සහ රෝස්ගේ අනුවේදනීය ආදර කථාව අලලා නිර්මාණය වූ එම සිනමා පටය ප්‍රේක්ෂකයන් ලක්ෂ ගණනකගේ නෙතඟට කඳුළක් එක් කරන්නට සමත් විය.

ටයිටැනික් යාත්‍රාව අවසනාවන්ත ලෙස මුහුදු බත් වූයේ ඇගේ මංගල ගමනේදීමය. දියත්කරනා සමයේ ‘නොගිලෙන නෞකාව’ ලෙසින් ලොව පුරා පතලව තිබූ අති නවීන නෞකාවක් ටයිටෑනික් හී අනපේක්ෂිත මුහුදුබත්වීම පිළිබඳ පුවත ලෝකවාසීන්ගේ මහත් කම්පනයට හේතු විය. එමතුදු නොව එය එකල නාවික ගමනාගමනය අධෛර්ය කරනා සාධකයක්ද විය

කෙසේ වෙතත් අපේ මෙ උත්සහය ටයිටැනික් නෞකාව හෝ, ජැක් සහ රෝස් ආදර කතාව පිළිබඳව ඔබේ මතකය ඇවිස්සීම නොව, ටයිටැනික් නෞකාව අභිබවා යමින් ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුතු Icon of the Seas නෞකාව පිළිබඳ කෙටි තොරතුරු විමසීමකටය .

රෝයල් කැරිබියන් සමාගමට (Royal Caribbean Group) අයත් ලොව විශාලතම නෞකාව වන ‘අයිකන් ඔෆ් ද සීස්’ (Icon of the Seas) සිය මංගල ගමන ආරම්භ කරයි. මෙය ලොව මෙතෙක් ඉදිකළ විශාලතම සුඛෝපභෝගී නෞකාව ලෙස හදුන්වාදිය හැක.

ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ ජනපදයේ, මියාමි නුවරේ සිට කැරිබියන් දූපත් දක්වා ගමන් ඇරඹූ අයිකන් ඔෆ් ද සීස් නෞකාව දිගින් මීටර් 365 (අඩි 1,197) ක් ද මහල් 20 කින් ද සමන්විතය. මෙම නෞකාව කැරබියෙන් දූපත් ආශ්‍රිතව දින හතක සංචාරයක නිරත වේ.

නෞකාව ඇතුළත

අධි සුඛෝපභෝගී නෞකාවක් වන ‘Icon of the Seas’ නෞකාව පාවෙන නගරයක් බඳුය. මෙම නෞකාව මගින් වරකට මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 7600ක් රැගෙන යාමේ ධාරිතාවයක් පවතී.

මගීන්ගේ විනෝදාස්වාදය උදෙසා පිහිනුම් තටාක 7කින් ද අවන්හල්, සුරාසැල්, විවේකාගාර 40කින් ද ඇය සමන්විතය .

ටොන් 250,800 ක බරින් යුත් Icon of the Seas ඉදිකිරීමට වැයව ඇති මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.8 කි. Royal Caribbean’s වෙබ් අඩවිය දක්වන පරිදි, නෞකාවේ ප්‍රවේශපත්‍ර එක් පුද්ගලයෙකුට $1,723 සිට $2,639 දක්වා පරාසයක පවතී. මෙහි මංගල ගමන එක්සත් ජනපද වර්ජින් දූපත් වල Saint Kitts and Nevis සහ Charlotte Amalie හි නතර වනු ඇත.

කෙසේ නමුත් මෙම නෞකාව සම්බන්ධයෙන් පරිසරවේදීන් මෙන්ම සාගර විද්‍යාඥයින් පසුවන්නේ, දැඩි කනස්සල්ලෙනි. ඒ Icon of the Seas හි බලශක්ති ප්‍රභවය ලෙස මීතේන් වායුව භාවිත වන නිසාය. මීතේන් යනු, කාබන්ඩයොක්සයිඩ් වලට වඩා ප්‍රබල හරිතාගාර වායුවකි.

පරිසරවේදීන් මෙහිදී අනතුරු අඟවන්නේ, ද්‍රව ස්වභාවික වායු (LNG) බලයෙන් ක්‍රියාත්මක වන නෞකාවෙන් අහිතකර මීතේන් වාතයට කාන්දු වන බවයි. මෙම නෞකාව තුළින් වායුගෝලයට අහිතකර මීතේන් විමෝචනය වන බවත් එය කාබන්ඩයොක්සයිඩ් වායුවට වඩා අසූ වරක් අහිතකර උෂ්ණත්වයක් නිකුත්වන බවත් ඔවුන්ගේ මතයයි.

Reuters news agency විසින් උපුටා දක්වන පරිදි International Council on Clean Transportation (ICCT) සමුද්‍රීය වැඩසටහනේ අධ්‍යක්ෂ බ්‍රයන් කොමර්, විසින් දක්වා ඇත්තේ “එය වැරදි දිශාවක පියවරක්” ලෙසයි.

කෙසේ නමුත් පරිසරවේදීන්ගේ මතය වන්නේ, අනික් නෞකාද මීතේන් වායුව භාවිත කළහොත් ඉන් භයානක පරිසර හානියක් සිදුවන බවයි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!