හරක් කටා සමග පොලිසියේ 30 ක් සම්බන්ධ බව වැඩ බලන පොලිස්පති කියයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සමඟ සම්බන්ධකම් පැවැත්වූ පොලිස් නිලධාරීන් 30කට වැඩි පිරිසක් ඇතුළු 163 දෙනෙකුගේ ලැයිස්තුවක් මේ වනවිට පොලිසිය සතු බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

මෙම පිරිස හරක් කටා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී ඇති ආකාරය බැලීම සඳහා මෙ වන විට පරීක්ෂණ ක්‍රියාත්මක බව ඔහු වැඩි දුරටත් පැවසීය.

නදුන් චින්තක 2016 සිට 2023 දක්වා කාලය තුළ හෙරොයින් කිලෝග්‍රෑම් 4000කට අධික ප්‍රමාණයක් මෙරටට රැගෙනවිත් ඇති බවද ඔහු පැවසීය .

“නදුන් චින්තකගේ ජංගම දුරකථන තොරතුරු විශ්ලේෂණය කළ විමර්ශන නිලධාරීන් ඔහු හා සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයින් 163 දෙනෙකුගේ ලැයිස්තුවක් හඳුනාගෙන තියනවා . එම ලැයිස්තුවේ සිටින පොලිස් නිලධාරීන් සැකකරු සමඟ සෘජුවම සම්බන්ධදැයි දැන්මම තහවුරු කර කියන්න බෑ. ඒ අයට එරෙහිව පියවර ගැනීමට පෙර අපි තව දුරටත් කරුණු සොයා බලනවා. පොලිස් නිලධාරීන්ගේ බැංකු විස්තර සහ වත්කම් ලැයිස්තුවේ තියෙනවා,” වැඩබලන පොලිස්පතිවරයා වැඩි දුරටත් පැවසීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!