සුපිරි හෝටල්වලට ඉටි හාල් ගේන්න ආනයන සහන ඉල්ලයි

ලංකාවේ සුපිරි හෝටල්වල සංචාරකයින්ට ලබාදෙන ජපානයේ ඉටි හාල් (stiky rice) ආනයනය සඳහා පවතින සීමා ලිහිල් කරන්නැයි ජපාන කෘෂිකර්ම අමාත්‍ය Norikasu Suzuki කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හමුවී ඉල්ලා සිටියේය.

ඔහු මෙම ඉල්ලීම කළේ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා-පැසිෆික් කළාපීය සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින කෘෂිකර්ම අමාත්‍යවරුන් හා ඉහළ නිළධාරීන් සමඟ පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවකදීය. කොළඹ හිල්ටන් හෝටලයේදී එම සාකච්ඡාව පැවැත්විණි.

මෙම සමුළුවේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා වගා කටයුතු ඇරඹීම හා අස්වනු නෙලීම සඳහා ජපානය විසින් භාවිතා කරන තාක්ෂණික හුවමාරු වැඩ පිළිවෙල මෙරටද ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් කළේය.

තවද මෙරට වී වගාවේ හෙක්ටයාර් එකකට ලැබෙන අවම අස්වැන්න සම්බන්ධව කරුණු දැක්වූ අමාත්‍යවරයා තවමත් නිසි පරිදි නව තාක්ෂණය යොදා නොගැනීම අස්වනු අඩු වීමට හේතුවක් වී ඇතැයිද පැවසීය.

මෙරටින් අඹ, අන්නාසි වැනි පලතුරු ජපානයට ආනයනය කිරීම සඳහා පවතින බාධා සම්බන්ධවත්, කිරි නිෂ්පාදන කර්මාන්තය ඉහළ නැංවීම, පශු සම්පත් සංවර්ධනය සඳහා ජපානය භාවිතා කරන නව තාක්ෂණික උපක්‍රම මෙරට ගොවීන්ට ලබාදීම සම්බන්ධවද මෙහිදී තවදුරටත් කරුණු සාකච්ඡා කළේය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!