සිම්බාබ්වේ පිල පරදවා දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව ජය ගනී.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 2කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 208ක් රැස්කරගත්තේය.

පන්දුවට පහරදීමේ දී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් නායක ක්‍රේග් අර්වින් ලකුණු 82 ක් රැස්කර ගත්තේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර දුෂ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩ්‍රසේ කඩුලු 2 බැගින් දවාගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වඩා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කල ජනිත් ලියනගේ තම මංගල අර්ධ ශතකය ද සමගින් ලකුණු 95ක් රැස්කර ගත්තේය.

කණ්ඩායමේ සෙසු පිතිකරුවන් වගකීම් විරහිත පිතිකරණයක නියැලෙද්දී අවසානයේ පිටියට පිවිසි දුෂ්මන්ත චමීර සහ මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනගියේය. ශ්‍රී ලංකාව 49 වන ඕවරය අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 211 ලබමින් තරගය ජය ගැනීමට සමත් විය.

සාර්ථක පන්දු යවීමක යෙදුන රිචර්ඩ් නග්‍රවා ඕවර 10 ක් තුළ නිලකුණු ඔවර් 3 ක් සමග ලකුණු 32කදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 5 දෙනෙක් දවාලිමට සමත් විය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!