සමස්ත ශ්‍රම බලකායම ඇතුලත් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස් කිරීමට ඇමති මනූෂ නායකත්වය දෙයි.

මෙරට විධිමත් සහ අවිධිමත් යන දෙඅංශයම ඇතුලත්ව සමස්ථ ශ්‍රම බලකායේ සමාජ ආරක්ෂණය පිළිබඳ පුළුල් ප්‍රතිපත්තියක් සකස් කිරීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන පත්කරන ලද කමිටුව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.

මෙම කමිටුව විසින් මාස තුනක කාලයක් තුළ පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් වන යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතුය. රටේ ශ්‍රම බලකායෙන් 60% ක් පමණ නියෝජනය වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් කිසිඳු සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුලත් නොවීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

රටේ ශ්‍රම බලකායෙන් 60% ක් පමණ වන අවිධිමත් අංශයේ ශ්‍රමිකයින් ඇතුළුව සියලුම ශ්‍රමිකයින් පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට ඇතුළුත් කිරීම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කළයුතු බවද ඒ සඳහා වන ක්‍රමවේදය සකස්කර මාස තුනක් ඇතුලත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළයුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරනු ලැබීය.

විධිමත් අංශයේ සේවය කරනු ලබන පිරිස් මෙන්ම තවත් මිලියන ගණනක පිරිසක් අවිධිමත් අංශයේ සේවය කරනු ලබන බවත් ඔවුන්ගේ ශ්‍රමයට අභිමාණයක් සහ ගරුත්වක් ලබාදීම සඳහා “ගරු සරු” නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිළි කළේය.

පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සකස්කිරීම සම්බන්ධයෙන් වූ උපදේශණ සැසිවාර කඩිනමින් පවත්වා මාස තුනක් ඇතුලත අදාල වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා විසින් මෙහිදී කමිටු සමාජිකයින්ට උපදෙස් ලබාදෙනු ලැබීය.

මෙම කමිටුව අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට යොමු කරන ලද කැබිනට් පත්‍රිකාව පදනම්කරගෙන ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම කමිටුව පත් කරනු ලැබීය.

මෙම සැසිවාරයේදී ලර්න් එෂියා ආයතනය විසින් සමාජ ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකින් අනාවරණය කරගත් තොරතුරුද ඉදිරිපත් කරනු ලැබීය. ඒ සඳහා මහාචාර්ය රොහාන් සමරජීව මහතා ඇතුළු කණ්ඩායමක් එම ආයතනය නියෝජනය කරමින් එක්ව සිටියහ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!