සමනලවැව වනාන්තරයේ අක්කර 20ක ගස් කපයි

සමනල වැව රජයේ වනාන්තරයේ විදුලි වැටක් ඉදිකිරීමට බව පවසමින් කිලෝමීටර 7ක් පමණ දිග, අක්කර 20කට වැඩි වනාන්තර තීරයක ඇති ශාක කපා ඉවත් කර එළිපෙහෙළි කොට ඇතැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර පැවසීය.

සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට කිලෝමීටර 15ක පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදි කිරීම සඳහා මෙම වනාන්තර එළි කිරීම සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකොළ මුල්ල හා බලිදු වැව යන ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා මේ විදුලි වැට ඉදි කිරීමට යෝජනා වී ඇති බව ද හෙතෙම කීය.

උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට මිල්ලගල අලිමංකඩ හරහා කල්තොට, දූවිලි ඇල්ල දක්වා අලි සංක්‍රමණය වීමේදී මෙම ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා මෙය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

එහෙත් උඩවලවේ සිට පොකුණුතැන්න, මිල්ලගල, බෝගහපට්ටිය, ඉලුක්පැලැස්ස, දූවිලි ඇල්ල දක්වා වලවේ ගඟ දිගේ ගමන් කරන අලි – ඇතුන් එම ගම්මානවලට පිවිසීම වැළැක්වීමට ඒවා ආවරණය වන පරිදි කුඩා විදුලි වැටක් ඉදි කර මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට හැකියාව තිබියදී මේ සිදුකරන එළිපෙහෙළි කිරීම් තුළින් දැවැන්ත හානියක් සිදුවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.

අදාළ විදුලි වැට ඉදි කිරීම සඳහා නිවැරදි සැලැසුමකින් තොරව මේ වනාන්තර කොටස එළි කිරීම සිදු කර ඇති බවට ත් ඒ සඳහා හානි අවම ක්‍රමවේදයක් මත පදනම්ව අනුමැතිය ලබා ගෙන නොමැති බවටත් සජීව චාමිකර චෝදනා කළේ ය.

මෙසේ නිසි අවසරයකින් හෝ සැලසුමකින් තොරව එළිපෙහෙළි කිරීමෙන් සමනල වැව ජල පෝෂක වනාන්තරයට දැවැන්ත හානියක් සිදුකර ඇති බව ද ඔහු කීය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!