සජිත්ගෙන් පාඨලීට කැපිල්ලක්. කිසිම කමිටුවකට නම් කර නෑ

නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් කෙරෙන තුරු රජයේ මුදල් කාරක සභාව විපක්ෂය වෙනුවෙන් නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක නැවත එම කමිටුවට නම් නොකිරීමට විපක්ෂය තීරණය කර ඇත.ඒ වෙනුවට විපක්ෂය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවාගේ නම ඉදිරිපත් කර ඇති අතර ඔහු මෑතකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්වූ අයෙක් වන අතර ඝෝඨාභය රාජපක්ස බලයට ගෙන ඒමට මුල්වූ වියත්මගේ ඉදිරිපෙළ සාමාජිකයෙකි.

එමෙන්ම, නව වැනි පාර්ලිමේන්තුවේ සිව්වන සැසිවාරය අවසන් වනතුරු ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති ධූරයේ කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකය. අද දිනයේ කථානායකවරයා විසින් කරන ලද නිවේදනයට අනුව ක්‍රම සහ විධි කාරක සභාව සඳහා විපක්ෂයේ කිසිදු නමක් ඉදිරිපත් කර නොමැත.

විශේෂයෙන්ම, ආචාර්ය හර්ෂ ද සිල්වා විසින් සභාපතීත්වය දැරූ පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ ක්‍රියාකාරී සභිකයෙක් වශයෙන් කටයුතු කළ පාඨලී චම්පික රණවක, සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හර්ෂ ද සිල්වා, විදේශගත වූ කාල වකවානුව තුළ රාජ්‍ය මුදල් කාරක සභාවේ වැඩබලන සභාපතිවරයා වශයෙන් පත් කිරීමට ද, සභාපතිවරයා විසින් කටයුතු කළේය. තත්ත්වය එසේ තිබියදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සභිකයන් තෝරාගැනීම සඳහා විපක්ෂයට පවතින කෝටාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ නම ඉවත් කොට සමගි ජන බලවේගය වෙත අලුතින් එක් වූ දූෂණ චෝදනා සහිත ආචාර්ය නාලක ගොඩහේවා පත් කරන ලද්දේ පාඨලී රණවක කෙරෙහි පවතින පෞද්ගලික විරසකයක් පිරිමැසීම සඳහා ද යන්න සැකයක් පවතින බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මින් පෙර ද, පාඨලී චම්පික රණවකට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා වෙලාව ලබා දීමේ දී ද කප්පාදුවක් සිදුවන බව ඔහු විසින් සඳහන් කර තිබිණ.

අනෙක් අතට, පාඨලී චම්පික රණවක විසින් සභාපතීත්වය දැරූ පාර්ලිමේන්තු ක්‍රම සහ විධි කමිටුව මගින් රජයේ ප්‍රධාන ආදායම් ප්‍රභවයන් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතනවල පවතින අකාර්යක්ෂමතා ඉවත් කරගනිමින්, හිඟ බදු අයකරගැනීම, විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක කිරීම හරහා ආදායම් කිහිප ගුණයකින් ඉහළ නංවාලීමට හැකියාව ලැබූ බව එම ආයතනවල ආදායම් වාර්තා මගින් පසුගියදා පෙන්වා දී තිබිණ. එවන් තත්ත්වයක් තුළ එසේ පාඨලී රණවක මන්ත්‍රීවරයා නම් නොකිරීම හරහා විපක්ෂ නායකවරයා බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න ගැටළුවකි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!