ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් ශ්‍රී ලංකාවට….

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන දෙවන එක්දින ක්‍රිකට් තරගය අද (11) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර තරගය ලකුණු 155 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 19 ක් තුළ දී දවා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් සමත් විය. ඒ ඔමාසායිගේ (Omarzai) පන්දුවක් හමුවේ පැතුම් නිස්සංක ලකුණු 18 කට දවාගනිමිනි.

අද තරගයේදී අගනා පිතිකරණයක නිරත වූ චරිත් අසලංක ලකුණු 97ක් රැස්කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 9ක් ඇතුළත් විය.

ඊට අමතරව පන්දුවට පහරදීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61ක් ද, සදීර සමරවික්‍රම ලකුණු 52ක් ද, ජනිත් ලියනගේ ලකුණු 50ක්ද ලබා ගත්තේය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් ඔමාසායි කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ලකුණු 309ක ජයග්‍රාහී ඉලක්කයක් හබායාමට පිටියට පිවිසී ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 33යි පන්දු 5ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 153ක් පමණි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන්, රහමත් ෂා (Rahmat) ලකුණු 63ක්ද, ඊබ්‍රාහිම් (Ibrahim) ලකුණු 54ක්ද රැස්කර ගත්තේය.

අගනා පන්දු යැවීමක නිරත වූ වනිදු හසුරංග ලකුණු 27කට කඩුලු 4ක් දවාගත්තේය. ප්‍රමෝද් මදුෂාන් එක් කඩුල්ල ක්ද, දිල්ශාන් මදුසංක සහ අසිත ප්‍රනාන්දු අතරේ කඩුලු 2 බැගින් ද බෙදීගියේය. තරගයේ වීරයා චරිත් අසලංක.

ඒ අනුව තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලිය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!