ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන දෙවන T20 තරගයේ ජයත් ශ්‍රී ලංකාවට…

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන දෙවන විස්සයි විස්ස තරගය ඊයේ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත් වූ අතර අද තරගය ලකුණු 72කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 187 රැස්කර ගැනීමට සමත් විය.

පන්දුවට පහර දීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සදීර සමරවික්‍රම ලකුණු 51ක් රැස්කර ගත්තේ, සිය මංගල අර්ධ ශතකය ද වාර්තා කරමිනි.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22ක් තුළ ලකුණු 42ක් ලබාගත්තේය. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 2ක් ඇතුළත් විය. පැතුම් නිස්සංක ලකුණු 25ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 23ක් , නායක වනිඳු හසරංග ලකුණු 22ක්ද රැස්කර ගත්තේය.

පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන්, ඔමසායි (Omarzai) කඩුලු 2ක්, මොහොමඩ් නබී කඩුලු 2ක් දවාගත් අතර Farooqi සහ Naween – UL අතරේ එක් කඩුල්ල බැගින් ද බෙදී ගියේය.

ඒ අනුව ලකුණු 187ක ජයග්‍රාහී ඉලක්කයක් හබායෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 17ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කර ගැනීමට හැකි වූයේ, ලකුණු 115ක් පමණි.

පන්දුවට පහරදීමේ දී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Janat ලකුණු 28ක්, නබී ලකුණු 27ක් ලබාගත්තේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, ඇන්ජලෝ මැතිව්ස්, වනිඳු හසරංග, බිනුර ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. එමෙන්ම දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ල බැගින් ද බිද හෙලීමට සමත් විය.

ඒ අනුව තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන විස්සයි විස්ස තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!