ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට….

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගය එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුළු 10 ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් විය .

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්තේය.

එහිදී රහමත් (Rahmat) ලකුණු 91ක් ලබා ගත්තේය. පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 24කට කඩුලු 3ක් බිද හෙලූ අතර විශ්ව ප්‍රනාන්දු ලකුණු 51කට කඩුලු 4ක් ද ප්‍රභාත් ජයසූරිය ලකුණු 67කට කඩුලු 3ක් බිද හෙලීමට සමත් විය.

එයට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 439ක් ලබා ගත්තේය. අගනා පිතිකරණයක නිරත වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 141 ක්ද දිනේෂ් චන්දිමාල් ලකුණු 107ක් ද පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත්තේය.

නවීඩ් සද්රාන්ගේ පන්දුවක් හිස් ආවරණයේ වැදීම හේතුවෙන් චාමික ගුණසේකර තරමක් කම්පනයට පත්විය.ඔහු දිගටම පිටියේ රැදීසිටි නමුත් පන්දු වාර 3කට පසුව කිසියම් අපහසුතාවයකට මුහුණ දීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගියේ සිය මංගල තරගයේදීය.

චාමික ගුණසේකර වෙනුවට දෙවන ඉනිමේදී කසුන් රාජිත ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කැඳවා තිබුණි.

ඇෆ්ගනිස්තානය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 296ක් ලබාගත්තේ, ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා ලකුණු 56ක පහසු ඉලක්කයක් ලබාදෙමින්‍.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ දෙවෙනි ඉනිමේදී සිය මංගල ටෙස්ට් ශතකය ලබාගත් ඊබ්‍රාහිම් සද්රාන් ලකුණු 114කට දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත්විය.

දෙවැනි ඉනිමේදී අනර්ඝ පන්දු යැවීමක නිරත වූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් බිදහෙලූ අතර අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් ද කසුන් රාජිත කඩුලු 2ක් ද බිද හෙලීමට සමත් විය.

ලකුණු 56ක පහසු ඉලක්කයක් හබාගිය ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකුත් නොදැවී එම ඉලක්කය ජය ගැනීමට සමත් විය. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 32ක්ද මදුෂ්ක නොදැවී ලකුණු 22ක්ද ලබාගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන තරග එකකින් යුත් ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

දැහැමි මධුෂිකා

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!