ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථික ඉලක්ක කඩිනමින් සපුරාගත යුතුයි

රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ වේගවත් කිරීම පිළිබඳ මසක් තුළ වර්තාවක් ලබාදෙන ලෙස විෂයභාර රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන්ට තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ 08, ඇල්විටිගල මාවතේ ස්ථාපිත කෙරුණු ඩරාස් ප්‍රධාන මුලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ පැවසීය.

“ ශ්‍රී ලංකාවේ ඩරාස් ස්ථාපිත කිරීමෙන් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාව තුළ ඊ-වාණිජ්‍යය සඳහා ඇති අවස්ථාවත්, ඒ සඳහා මාර්ගය පෙන්වා දීමත් බව කිව හැකියි.

අප දැන් සිටින්නේ ඊ-වාණිජ්‍ය යුගයකයි, එහෙත් අපේ රට තුළ ඊ-වාණිජ්‍යය ආරම්භ කිරීම ප්‍රමාද වුණා. මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලිය ආරම්භ කර වේගවත් කරන්නේ කෙසේද සහ ඒ සඳහා මාර්ගය සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳව රාජ්‍ය අමාත්‍යතුමාත්, මමත්, ලේකම්තුමාත් තවත් නිලධාරීන් කිහිප දෙනෙකුත් එක්ව සාකච්ඡා කළා. ඒ අනුව ඩිජිටල් ආර්ථිකය සම්බන්ධයෙන් වාර්තාවක් මාසයක් ඇතුලතදී ලබා දෙන ලෙස මම ඔවුන්ට දැනුම් දුන්නා.

රට තුළ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම උත්සාහයකම අප නිරත වෙනවා. අපිට අමුතුවෙන්ම මෙම ක්‍රියාවලිය ප්‍රතිනිර්මාණය කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. මොකද දකුණු ඉන්දියාවේ, තමිල්නාඩුවේ මේ තාක්ෂණික පද්ධතිය අපට පහසුවෙන් භාවිතා කළ හැකි වේවි කියා මම හිතනවා. මේ සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සාකච්ඡා කිරීමට මම සූදානම්.

ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) උදාහරණයට ගත් විට මම 1993 අගමැති ලෙස කටයුතු කරන විට ද ඒ පිළිබඳව කථා කළා. නමුත් 2023ත් අප තවම ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඒ අනුව හිතාගන්න පුළුවන් අප මෙම කටයුතු සඳහා කොපමණ කාලයක් ගත කර තිබෙනවාද කියා. මට වගේම පාර්ලිමේන්තුවට ද අවශ්‍යව ඇත්තේ RAMIS ඇතුළු රට ඩිජිටල් ආර්ථිකයක් කරා ගෙන යාමේ කටයුතු මේ වසර අවසන්වන විට අවසන් කිරීමටයි.

ඩිජිටල් ආර්ථිකය සහ හරිත ආර්ථිකය සමග අප සමාන්තරව ගමන් කළයුතුයි. අද ආසියාවේ හරිත ආර්ථිකය ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. ඒ ව්‍යාපාරය ඩොලර් ට්‍රිලියන 5ක් වටිනවා. දැන් අපට ට්‍රිලියන 5ක් අවශ්‍ය නැහැ. බිලියන කිහිපයක් ලැබුනා නම් ඇති.

ජනාධිපති මාධ්‍ය ඒකකය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *