ශ්‍රී ලංකාවේ විශාලතම සෙල් ලිපියේ භාගයකටත් වඩා විනාශ වෙලා

2023 වසරේ ජූලි මස 10 වනදා දිඹුලාගලින් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් එළිදක්වා ඇත. ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුනි.

මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය ක්‍රිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පැවසීය.

මේ අතර එම සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් ඇති බවත් ඊට අමතරව මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් එහි ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එසේම අදාළ ශිලා ලේඛනයෙන් 60% පමණ මැකී ගොස් ඇති බවත්, ඒ අනුව කියවීමට හැකි පරිදි ඉතිරිව තිබූ 40% කට ආසන්න අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කරගැනීමට හැකි වූ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත. භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.

මේ අතර ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව ඔහු සඳහන් කරයි .

එසේම සංඝයා වහන්සේ ගැන භක්තිවන්තයෙකු ගැන එම ශිලා ලේඛනයේ සඳහන්ව තිබී ඇත. මේ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුව කිසියම් අස්වැන්නක බද්දක් පිළිබඳවද සටහනක් තිබූ බවට විශ්වාසය පළකරන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

බරජය නම් කුටියක් සාදවා සංඝයාට පූජා කිරීම ගැන ද මෙහි සඳහන් ව ඇත . එහි පළමු සහ දෙවන පේළිවල සඳහන් අකුරු කියවාගැනීමට අපහසු වූ බව සඳහන් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එහි දීපරාජ නම් රජ කෙනෙකු පිළිබඳව, ශිව නම් පුද්ගලයෙකු ගැන මෙන්ම බඝුබශිග නැමැත්තෙකුගේ බිරිඳ පිළිබඳව එහි සඳහන් ව ඇති බවය.

මෙම ලිපිය තුළ කෝලිත නමැති මැණික් ව්‍යාපාරිකයෙකු ගැන සඳහන් ව ඇති අතර එහි සිව්වැනි පේළියේ ගම්පාලක පුද්ගලයෙකු ගැන සඳහන්ව ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

ගම්පාලක පුද්ගලයා විසින් මාර්ගයක් සකස් කිරීම සම්බන්ධයෙන් එහි සටහන් ව ඇති අතර තිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සටහන් ව ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.

සූරතිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.

මේ අතර ගම්දරුවන්ගේ ප්‍රමුඛාචාර්යවරයෙකු ගැනද තෙරුන් වහන්සේ නමක් පිළිබඳවද එහි සඳහන් ව තිබූ බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

දකුණු දිශාව ගැන යම් සඳහනක් අදාළ සෙල් ලිපියේ සඳහන්ව තිබූ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.

විශාක නම් කුමාරයෙකු පිළිබඳවත් බ්‍රාහ්මණ ගමෙහි ඇති අරිය නම් වෙළෙඳ ආයතනයක් ගැන ද මෙම සෙල් ලිපියේ සඳහන්ව තිබූ බව මහාචාර්යවරයා පවසයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!