වේල්සයෙන් මධ්‍යතන යුගයට අයත් අභිරහස් සුසාන භූමියක් සොයා ගැනේ

පුරාවිද්‍යාඥයින් මවිත කරමින් වේල්සයෙන් දුර්ලභ මුල් මධ්‍යතන යුගයට අයත් සුසාන භූමියක් සොයාගෙන තිබේ. එය ක්‍රිස්තු වර්ෂ 6 හෝ 7 වන සියවසට අයත් සුසාන භූමියක් බවත් එහි සොහොන් ගැබ් 70න් 18ක්ම මේ වනවිටත් කැණීම් කර අවසන් බවත් තවදුරටත් වාර්තා වේ.

මේ තුළ තිබී හොඳින් සංරක්ෂණය කර ඇතැම් ඇටසැකිලි අසාමාන්‍ය අයුරින් තැන්පත් කර ඇති ආකාරය පුරාවිද්‍යාඥයින්ට දැකගත හැකි වී ඇති අතර අනපේක්ෂිත කෞතුක වස්තූන්ද මෙම ස්ථානයෙන් හමුවෙමින් පවතී.

පුරාවිද්‍යාඥයන්ගේ මතය වන්නේ මෙම කැණීම් හරහා පුරාණ ප්‍රජාවක් පිළිබඳව වැඩිදුර තොරතුරු අනාවරණය වීම ආරම්භ වී ඇති බවයි. නමුදු ඒ පිළිබඳ යම් යම් ගැටලු මතුවෙමින් පවතින බවද ඔවුන් පවසයි.

මෙම සුසාන භූමිය හමුව ඇත්තේ කාර්ඩින් ගුවන්තොටුපළේ ගුවන් යානා ධාවන පථය අවසන් වන ස්ථානයට අසළින් පිහිටා ඇති ෆොන්මන් මාලිගා භූමියෙනි.

මේ වන විට පුරාවිද්‍යා කණ්ඩායමක් විසින් බොහෝ කාලයක් සිට පාෂාණ සමග බද්ධ වී ඇති සොහොන් නිරාවරණය කර ගැනීම සඳහා එහි මතුපිට තුනී පාංශු ස්ථරය ප්‍රවේශමෙන් ඉවත් කිරීමේ කාර්යයෙහි නිරතව සිටී.

මෙම කැණීම් අතර මේ වන විට සම සහ හිස කෙස් සහිත වසර දාහක් පමණ පැරණි සිරුරක් සොයා ගැනීමට හැකියාව ලැබී ඇත. ඒත් සමඟම එම සිරුර ඊශ්‍රායලයෙන් මතු වූ ආදි මුතුන් මිත්තන්ගේ බව විද්‍යාඥයින් අතර සංවාදයක් ඇති කිරීමට සමත්ව ඇත. එතරම් කලක් පැරණි වූවද මෙම ඇටසැකිල්ල හොඳ තත්ත්වයක පවතින බවයි රෙඩිං විශ්ව විද්‍යාලයේ අස්ථි පුරාවිද්‍යාඥවරියක් වන සමර් කෝර්ට්ස් පවසන්නීය .

කෙසේ නමුත් ඇතැම් ඇටසැකිලි මෙන්ම ඒවා තබා ඇති ඉරියව් තමන්ව ප්‍රහේලිකාවක් කරා ගෙන යන බවයි පුරාවිද්‍යාඥයින් පෙන්වා දුන්නේ.

මෙම සොහොන් භූමිය ආශ්‍රිතව සොයාගෙන ඇති ද්‍රව්‍යය ද විද්‍යාඥයින් මවිතයට පත් කිරීමට සමත්ව ඇත. ඒවායින් පළමු සහශ්‍රයේ මැද භාගයේ පැවති ජීවන රටාව වර්තමාන ජීවන රටාවට වඩා හාත්පසින් වෙනස් වන බවට හෙළි වී ඇත. මෙහිදී පිඟන් කෝප්පවල කොටස් මෙන්ම මස් ලබාගෙන පුළුස්සා දැමූ සත්ව අස්ථි කොටස් ද සොයාගෙන ඇත.

මෙම භූමියෙහි කැණීම් කණ්ඩායම මෙහෙයවන කාර්ඩිෆ් විශ්ව විද්‍යාලයේ මුල් මධ්‍යතන පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන ආචාර්ය ඇන්ඩි සීමන් පවසා ඇත්තේ වත්මන් සුසාන භූමියක් ආකාරයෙන් මෙය මළවුන් බැහැර කරනු ලබන ස්ථානයක් පමණක්ම නොවන බව පෙනී යන බවයි.

මෙහිදී පුරාවිද්‍යාඥයින්ව වඩාත් පැටලැවිලි සහගත තත්ත්වයකට පත් කොට ඇත්තේ සොහොන් බිමෙහි සිටින පුද්ගලයින් සාමාන්‍ය වැසියන්ට වඩා බෙහෙවින් වෙනස් ප්‍රජාවක් බවට සොයා ගන්නා ලද කෞතුක වස්තූන්වලින් පෙනී යාමයි. මීට අමතරව සොහොන් බිමෙහි තිබී හමු වූ වීදුරු කැබැල්ල මෙහිදී සොයාගත් විශේෂතම සාක්ෂියක් බවට පත්වෙයි. එය ප්‍රංශයේ බෝඩෝ ප්‍රදේශයෙන් ආනයනය කරන ලද බවට පුරාවිද්‍යාඥයින්ගේ මතයයි. ආනයන භාණ්ඩ අතරට පර්යේෂණ කණ්ඩායම් විසින් උතුරු අප්‍රිකාවට අයත් බවට සිතිය හැකි මැටි බඳුන් කැබලි කිහිපයක් ද සොයාගෙන ඇත.

මෙම සොයා ගැනීම්වලින් ගණනය කරන ලද ගුණාත්මකභාවය මගින් තීරණය වන්නේ මෙම ජනතාව උසස් තත්ත්වයක ජීවන රටාවකට උරුමකම් කියන්නා වූ පිරිසක් බවය. එහෙත් මෙම සුසාන භූමිය භාවිතයට ගත් අවධිය පිළිබඳව නිශ්චිතව දින වකවානු තහවුරු කර ගැනීමට තවමත් පුරාවිද්‍යාඥයින් සමත්ව නැත. ඒ සඳහා ඔවුන් තවදුරටත් පර්යේෂණ කටයුතු සිදු කරන අතර මිහිදන් කොට ඇති පුද්ගලයන් පිළිබඳ තොරතුරු සොයා ගැනීමේ අරමුණින් DNA සාම්පල පර්යේෂණයන්ද මේ වන විට සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මෙම සුසාන භූමිය මඟින් එක් එක් පුද්ගලයින් හා ඔවුන් අයත් වන සමස්ත ප්‍රජාවගේ කාල නිර්ණය පිළිබඳ නොනිල චිත්‍රයක් සපයා දෙන අතර වර්තමානයේදී අප තවමත් නොදන්නා යුගයක තොරතුරු හෙළි කිරීමට මෙමඟින් ආලෝකයක් ලබා දෙනු ඇතැයි විශ්වාස තබාගත හැකිය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!