විමල් අත් අඩංගුවට ගන්න අධිකරණය නියෝග කරයි

හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (19) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඒ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකළේ යැයි ඔහු චෝදනා ලබා සිටියි.

මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නඩුවේ පළමුවන විත්තිකරු වශයෙන් නම් කර සිටින විමල් වීරවංශ අධිකරණයේ පෙනී නොසිටි අතර, සෙසු විත්තිකරුවන් පෙනී සිට ඇති අතරම තවත් විත්තිකරුවෙක් වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් ව තිබුණි.

විත්තිකරුවන් මේ ආකාරයෙන් අධිකරණයේ පෙනී සිටීම මඟහැරිය හොත් විත්තිකරුවන් සියලුදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර නඩුව ඇසීමට සිදුවන බවත් මෙහිදී මහෙස්ත්‍රාත්වරයා අනතුරු අඟවා සිටි බව වාර්තා වේ.

නඩුව සැප්තැම්බර් මස 11 වනදා දක්වා කල්තැබීමට ද නියම කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *