විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මේ වසරේදී මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7 ක්. මනුෂ ගෙනයන වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්වේ

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වසරේදී රුපියල් බිලියන 7ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදී ඇති අතර එයින් රුපියල් බිලියන 4ක් ලබාදීම සඳහා වන චෙක් පත අද (29) පස්වරුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිළ වශයෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් භාරදෙනු ලැබීය.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ඖෂද මිලදී ගැනීමට, රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබූ මෙහෙයුම් අතිරික්තයෙන් මෙම මුදල ලබාදීම සිදුකර ඇත.

අදාල රුපියල් බිලියන 7ක මුදලින් මිට පෙර රුපියල් බිලියන 3 මුදලක් ජනාධිපතිවරයාට ලබාදුන් අතර එම අවස්ථාවේදීම මහරගම අපෙක්ෂා රෝහලට ඖෂද මිලදී ගැනීම සඳහාද රුපියල් මිලියන 100ක මුදලක් ලබාදීමටද පියවර ගෙන තිබිණි.

මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ආර්. පී. ඒ. විමලවීර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති හිල්මි අසීස්, අමාත්‍යවරයාගේ උපදේශක ශාන් යහම්පත් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගි වූහ.

මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය 2023 වර්ෂය තුළ ලබාගත් ප්‍රගතිය සම්බන්ධයෙන්ද සමාලෝචනය කරනු ලැබීය.

අමාත්‍යංශය විසින් මේවන විට ක්‍රියාත්මක කරනු ලබන ප්‍රධාන වැඩසටහන් සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා ජනාධිපතිවරයාව දැනුවත් කළේය. එහිදී ගරු සරු වැඩසටහන මගින් මෙරට අවිධිමත් අංශයේ රැකියාවල නිතරවන පිරිසට ගෞරවයක් ලබාදීමටත්, ඔවුන් සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා එක් කර ගනිමින් ශ්‍රම වෙළෙඳ පොළට අදාල තොරතුරු පද්ධතියට සම්බන්ධ කිරීම, සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැනුවත් කළේය.

මෙරට තුළට ප්‍රේෂණ ගලා ඒම වර්ධණය කිරීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ට වාහන ආනයන බලපත්‍ර හදුන්වාදීම හා ඒ හා සම්බන්ධ කරුණු, විදේශගත ශ්‍රමිකයන්ගේ සංගම් ඇති කරමින් කරගෙන යන වැඩපිළිවෙල, ස්මාට් ක්ලබ් වැඩසටහන යටතේ සිදුකරන වෘත්තිය මාර්ගෝපදේශන වැඩසහන්, පිළිබඳවද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේය.

මේ අතර ගතවූ මාස 18 ක කාලය තුළ විදේශ ප්‍රේෂණ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.5 ක් ලබා ගැනීමට හැකි වූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා විදේශ ගත ශ්‍රමිකයින් හට හදුන්වා දුන් විශ්‍රම වැටුප් ක්‍රමයක් හදුන්වාදීම, විදේශ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින් වෙනුවෙන් වෙනම ද්වාරයක් විවෘත කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයාව දැණුවත් කළේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඩිජිටල්කරණයට ගනු ලබන පියවර සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළේය.

විදේශගත ශ්‍රමකයින්ගේ ප්‍රේෂණ, මෙරටට විදේශ විනිම ගලා එන ප්‍රධානතම ප්‍රභවයක් ලෙස සඳහන් කළ ජනාධිපතිවරයා, අමාත්‍ය මනූෂ නානායක්කාර ගෙන යන වැඩපිළිවෙලට සිය සතුට පළකර අතරම නව රැකීරක්ෂා පනත මගින් කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට ගෙන ඇති පියවර සිය ඇගයීමට ලක්කළේය.

මීට පෙර ඉතිහාසය පුරා අවස්ථා කීපයකදීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහා භාණ්ඩාගාරයට රුපියල් මිලියන 3382ක මුදලක් ලබා දී තිබුනද එක් වර්ෂයක් තුලදී රුපියල් බිලියන 7ක මුදලක් ලබාදුන් පළමු අවස්ථාව මෙය වේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!