විදුලිය විසන්දිකර පොලු පහර දී දත් කඩලා.
සඹරගමුව විශ්වවිද්‍යාලයේ ගැටුමට හතක් අත් අඩංගුවට

ශ්‍රී ලංකා සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවියකට හා සිසුන් කිහිප දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යේශ්ඨ සිසුන් 07ක් අත්අඩංගුවට ගත්බව සමනලවැව පොලිසිය පැවසීය.

සබරගමු විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුන්ට එම පීඨයේ ජ්‍යේශ්ඨ සිසුන් පිරිසක් විසින් ඉකුත් (09) රාත්‍රී විදුලිය විසන්ධි කරමින් පොලු මුගුරුවලින් පහර දී ඇත. එයින් තුවාල ලැබූ සිසුවියක් හා සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය පැවසීය.

පොලීසිය තවදුරටත් පැවසුවේ පඹහින්න රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන්ව බලංගොඩ මූලික රෝහලට මාරු කර යවා ඇති බවයි.

පහර කෑමට ලක්වූ සිසුන් පවසා ඇත්තේ තමන් පිටතින් ආහාර රැගෙනවිත් කෘෂි විද්‍යා පීඨයේ ආපන ශාලාවේ රාත්‍රී ආහාර ලබා ගනිමින් සිටියදී ජ්‍යේශ්ඨ සිසුන් පිරිසක් පැමිණ විදුලිය විසන්ධිකර පොලු මුගුරුවලින් පහරදුන් බවයි.

එදින රාත්‍රී 10.30ට පමණ මෙම සිදුවීම සිදුවී ඇතිබව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද, එක් සිසුවෙකුගේ මුඛයට පහර දීම හේතුවෙන් ඔහුගේ දත්වලට හානි සිදුවී ඇති බවද සමනලවැව පොලිසිය පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!