ව්‍යවසායකයින් පණ ගැන්වීමට රුපියල් බිලියන 20 ක ණය යෝජනා ක්‍රමයක්

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය සඳහා කාරක ප්‍රාග්ධන සහාය ලබා දීමට ආසියා සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර ඇති බව රජයේ ආරංචිමාර්ග පවසයි.

යෝජිත වැඩසටහන මඟින් දැනට ක්‍රියාත්මක ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පුළුල් කර ගැනීමට සහ ප්‍රකෘතිමත් කර ගැනීමට අවශ්‍ය ණය පහසුකම් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභි විශේෂ බැංකු හරහා සහනදායී පොලී අනුපාත ලබාදීමට අපේක්ෂා කරනු ලබන බව රජය පැවසීය.

එම ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 20ක් යෙදවීමට නියමිත අතර ඉන් රුපියල් බිලියන 15ක් දැනට පවත්වාගෙන යනු ලබන නව ව්‍යවසාය ශක්තිමත් කිරීමටත්, ඉතිරි රුපියල් බිලියන 5ක මුදල අක්‍රීය ණය කාණ්ඩය යටතේ පවතින ව්‍යවසායකයින්ට සහාය වීමටත් යොදවනු ඇතැයි රජය විසින් තවදුරටත් පැවසීය.

කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!