රාජපක්ෂලාගේ පංච මහා ගුණයන්,

පොදුජන පෙරමුණ කියන්නේ රාජපක්ෂලාගේ පවුලේ පක්ෂය.ඒක නිසාම සාමාන්‍ය දේශපාලන පක්ෂයක නැති අමුතු විදිහේ ලක්ෂණ පොහොට්ටුව ඇතුලේ තියනවා.කොටින්ම කියනවා නම් රාජපක්ෂලාගේ වැඩවසම් ලක්ෂණ සියල්ලම වගේ පොහොට්ටුව ඇතුලේ සංස්ථා ගතවෙලා තියනවා. මුල අමතක වීම,ලැජ්ජා බය නැතිකම,බලය වෙනුවෙන් ඕනිම පහත් වැඩක් කිරීම,බොරු උද්දච්චකම සහ වංචාව ඒවායින් ප්‍රධානයි.රාජපක්ෂලාගේ මේ පංච මහා ගුණයන් පොහොට්ටුවට ජීර්ණය වෙලා.

සාමානයෙන් ඔය ලක්ෂණ උපරිම වශයෙන් මතු වෙන්නේ රාජපක්ෂලාට බලය තියන කාලෙට. බලය නැතිකාලෙත් ඒවා ඒ විදිහටම තියනවා හැබැයි කැපිලා පේන්නේ නෑ.ඕනි වෙලාවට මතු කරගන්න පුළුවන් විදිහට ඒවා රාජපක්ෂලාගේ චින්තනය ඇතුලේ තැන්පත් වෙලා තියනවා.මුල අමතකවීම කියන එක රාජපක්ෂලාගේ ජාති ලක්ෂණයක්. රාජපක්ෂලාට බලය ගන්න උදව් කරපු කිසි කෙනෙක් දැන් රාජපක්ෂලා ළඟ නෑ.ළඟ නෙවෙයි පැත්ත පලාතක නෑ.සමහරු අද ජීවතුන් අතරත් නෑ.ඇත්තටම ඒ මරණවලටත් එයාලා රාජපක්ෂලා වෙනුවෙන් කරපු දේශපාලනය බලපෑවා.රාජපක්ෂලා ආපු ගමන හරියට පෙලගස්සලා බැලුවොත් ඒක පැහැදිලිව පේනවා.2005 ජනාධිපතිවරණයේදී මහින්ද බලයට ගේන්න මුල්වුන අය ඔයාලට මතක ඇති.මහින්ද දිනවීමේ වැඩිම බර ඇද්දේ ජවිපෙ. ඇත්තටම අද මොනවා කිව්වත් රාජපක්ෂලාට ස්ථාවර ආරම්භයක් ලබා දුන්නේ ජවිපෙ.එදා ජවිපෙ දේශපාලන මණ්‌ඩලයේ හිටපු විමල්ලා,අනුරලා,විජිතලා,ලාල්ලා,ටිල්වින්ලා රට පුරා ගිහින් මහින්දගේ ගුණ ගායනා කළා.

ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ විතරක් මහින්ද හිරකරගන්න පුළුවන් විදිහේ දේශපාලන කතාවක් කළා.සෝමවංශ හැම වෙලේම මහින්ද වේදිකාව උඩ තියාගෙන කිව්වේ පස්වෙනි මහින්ද කෙනෙක් වෙන්න නං ලෑස්ති වෙන්න එපා කියලා.ඊළඟට මහින්ද පස්වෙනි මහින්ද කෙනෙක් නොකර තියාගන්න වැඩපිලිවෙලක් සෝමවංශට තිබුණා.අනුර,විජිත, ටිල්වින්,ප්‍රේම කුමාර වගේ මූලධර්මවාදින් සෝමවංශගේ ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න නොදී ජවිපෙ ආණ්ඩුවෙන් එලියට ඇදගෙන ආවා.ඒ අර්ථයෙන් හිතද්දී රාජපක්ෂලා කෙනෙහිලිකම් කරලා නැත්තේ ජවිපෙට විතරයි.ඇත්තටම ජවිපෙ නායකයන්ගේ දරුවන්ට රස්සාවක් හරි විදේශ ශිෂ්‍යත්වයක් හරි දීලා තියෙන්නෙත් රාජපක්ෂලා තමයි.ජවිපෙ එදා ඉල්ලං කෑවට රාජපක්ෂලාට කරන්න දෙයක් නෑ තමයි.2005 ජනාධිපතිවරණයේදී මහින්දට ශ්‍රිලනිපයේ සම්පුර්ණ සහය හම්බ උනේ නෑ. ජනාධිපතිවරණ කාලය පුරාම ශ්‍රිලනිප මූලස්ථානය ඉබ්බා දාලා වහලා තිබුණා.එදා මහින්ද වෙනුවෙන් සෘජුව හිටියේ මංගල සමරවීර,ශ්‍රීපති සූරියආරච්චි, මෛත්‍රීපාල සිරිසේන වගේ ශ්‍රිලනිප නායකයන්.එදා මහින්දගේ ඡන්ද සටන මෙහෙව්වේ ජවිපෙ.

මහින්ද දිනලා වැඩි කාලක් යන්න ඉස්සෙල්ලා රාජපක්ෂලා ශ්‍රීපතිටයි, මංගලටයි ගහන්න පටන් ගත්තා. කොහොම හරි ශ්‍රීපති සැක කටයුතු රිය අනතුරකින් මැරුණා.මංගලත් රාජපක්ෂලාට යටත් උනේ නෑ. අවසානයේ මංගලට නවතින්න උනේ එජාපයේ.මහින්ද ජනාධිපති වෙනවත් එක්ක ඇමරිකාවේ පදිංචි වෙලා හිටිය ගෝඨාභයලා සහ බැසිල්ලා මෙහේට ගොඩ බැස්සා. බැසිල්ට ආර්ථිකය හදන්නත්, ගෝඨාභයට ජාතික ආරක්ෂාවත් බාර දුන්නා.පක්ෂ ලේකම් මෛත්‍රීපාල කාලය ගැන කිව්වේ එයා ශ්‍රිලනිපය ඇතුලේ මහ ලේකම් කෙනෙක් නෙවෙයි පියන් කෙනෙක් විදිහට කටයුතු කළේ කියලයි.ඒ අස්සේ මහින්ද බලයට ගේන්න මහන්සි උන දෙවන පෙල නායකයන් කිදෙනෙකුට රාජපක්ෂලා ෂොට් එක දුන්නද?ඒකට හොඳම උදාහරණය තමයි හිරුණිකාගේ තාත්තා භාරත ලක්‍ෂ්මන්.භාරත ලක්ෂ්මන් වෙඩි කාලා මැරෙනකොටත් මහින්දගේ වෘතිය සමිති අධ්‍යක්ෂ ජෙනරාල්. රාජපක්ෂලාගේ පවුලේ ලගම දේශපාලන හිතවතා වුන දුමින්ද සිල්වා තමයි භාරතට වෙඩි තිබ්බේ. ඒ වලිය ෆෝම් කළේ කවුද කියලා කවුරුත් දන්නවා.දුමින්දට රාජපක්ෂ පවුලේ අය ආදරේට කිව්වේ සුදු පුතා කියලා.

තමන්ට බලයට එන්න අත දුන්න භාරත අතෑරලා රාජපක්ෂලා දුමින්දත් එක්ක හිටගත්තා.මොකද දුම්න්ද කියන්නේ නාමල්ට ගැලපෙන ඇඟ පුම්බගත්ත චරිතයක්. කොහොම හරි මෙතන ලස්සනම වැඩේ කියන්නේ ගෝඨාභය ජනාධිපති වෙලා හාරත ඝාතනය වෙනුවෙන් මරණීය දඩණය නියම කරලා හිටිය දුමින්දට ජනාධිපති සමාව දුන්න එකයි.2010 ජනාධිපතිවරණයේදී මහින්දට උදව් කරන්න ගොඩක් අය හිටියා.ඒ යුධ ජයග්‍රහණයේ අයිතිය මහින්ද තිනිවම තමන්ට සහ තමන්ගේ පවුලට ලියාගෙන තිබුණ හින්දයි. එදා මහින්දගේ ප්‍රතිවාදී අපේක්‍ෂකයා උනේ යුද්ධ ජයග්‍රහණයට වැඩිම දායකත්වයක් දන්න හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා. අවසානයේ ඉතා දූෂිත මැතිවරණයකින් පස්සේ ෆොන්සේකා මහින්දට පරාදවුනා. 2010 ජනාධිපතිවරණය ජයග්‍රහණය කරනවාත් එක්ක රාජපක්ෂලාගේ තත්වය තව තවත් නරක අතට පෙරළුණා.තමන්ගේ ප්‍රතිවාදීන් එකිනෙකා දඩයම් කරන්න රාජපක්ෂලා පටන් ගත්තා. ඒකේ ප්‍රමුඛ ගොඳුර බවට පත්වුනේ ජනාධිපතිවරණයේ මහින්දගේ ප්‍රධාන ප්‍රතිවාදියා වුන සරත් ෆොන්සේකා.

2010 ජනාධිපතිවරණයේදී මහින්දට උදව් කරපු ප්‍රමුඛ කණ්‌ඩායම බවට පත්වුණේ විමල්,පාඨළී, ගම්මන්පිල ඇතුළු කණ්ඩායම.ජයග්‍රහණයෙන් පස්සේ රාජපක්ෂලා සහ රාජපක්ෂලා බලයට ගෙනාපු පිරිස අතර ගැටුම් පටන් ගත්තා.2013 වෙනකොට ඒ ගැටුම කරලියට ආවා.2015 ජනාධිපතිවරණය වෙනකොට රාජපක්ෂලා එක්ක ගැටුම හදාගෙන පාඨළීලා එලියට බැස්සා.ඒ ගැටුමේ හිටිය විමල් සහ ගම්මන්පිල රාජපක්ෂලාට යටත් වෙමින් මැදමුලන වලව්වේ පිලිකන්නේ දේශපාලනය තෝරාගත්තා.2015 වෙනකොට මහින්ද 18 වෙනි සංශෝධනය ගෙනත් මැරෙනකම් ජනාධිපතිවරණවලට තරඟ කිරීමේ අවස්ථාව හදා ගෙන තිබුණා.ඒ වෙනකොට ශ්‍රිලනිපය ඇතුලේ ජනාධිපති අපේක්ෂකත්වට සුදුස්සා විදිහට හිටපු මෛත්‍රිගේ අවස්ථාව මහින්ද 18 වෙනි සංශෝධනයෙන් උදුරගෙන.හැබැයි මෛත්‍රි මහින්දට අමතක නොවෙන පාඩමක් ඉගැන්නුවා.මෛත්‍රි එජාපය එක්ක එකතු වෙලා මහින්ද ගෙදර යැව්වා.

මහින්ද අඬ අඬ ගෙදර ගිය හැටි අපි දැක්කා.ගෙදර ගිය මහින්ද ආපහු දේශපාලනට ගෙනාවේ විමල්,ගම්මන්පිල,වාසු ඇතුළු කණ්ඩායම.බැසිල් එතකොට හිටියේ ඇමරිකාවට පැනලා ගිහින්. විමල්ලා මහින්ද බලයට ගේන්න මහින්ද සුළඟ නිර්මාණය කළා. මහින්ද සුළඟ හරහා ආයෙත් මහින්ද වටේට ජන රැල්ල ගොඩනැගිලා මහින්දගේ අනුප්‍රාප්තිකයා විදිහට 2019 ජනාධිපතිවරණයට ගෝඨාභය ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කළා. ආයෙත් රාජපක්ෂලා පරණ පුරුදු සෙල්ලම් පටන් ගත්තා.ඇමරිකාවේ හැංගිලා හිටපු බැසිල් ඇවිත් විමල්ලා හදපු මහින්ද සුළගේ පාවෙමින් පොදුජන පෙරමුණ හැදුවා.පොදුජන පෙරමුණ පලාත් පාලන මැතිවරණය, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයග්‍රහණය කරමින් නැවතත් රාජපක්ෂලාගේ බලය තහවුරු කළා.විමල්ලා, ගම්මන්පිලලා,වාසුලා ඇතුළු දේශප්‍රේමී කියාගත්ත දේශපාලන තක්කඩි සහ ඇතැම් චීවරදාරීන් ආයෙත් රාජපක්ෂලාට දේශපාලන බැලමෙහෙවර කරන්න පටන් ගත්තා.

ගෝඨාභය බලයට පත් කරලා අත්තනෝමතික 20 වෙනි සංශෝධනයත් සම්මත කරලා දුන්නා.ඩලස්,විමල්,ගම්මන්පිල, වාසු ඇතුළු පිරිස කියන්නේ 20 වෙනි සංශෝධනයට අත උස්සපු දේශපාලන නිවටයෝ පිරිසක්.20 සංශෝධනය සම්මත උනාට පස්සේ ගෝඨාභය හැසිරුණේ දැලි පිහිය අතට අහුවුන වඳුරා හැසිරෙන විදිහට.එතනදීත් ගෝඨාභය ඉස්සෙල්ලාම ගැහුවේත් තමන් බලයට පත් කරන්නඋදව් කරපු අයට.ගෝඨාභය ජනාධිපති උන පළවෙනි මොහොතේම ශ්‍රිලනිපයට ගහන්න පටන් ගත්තා.වේදිකා උඩ ශ්‍රිලනිප අපේක්ෂකයන්ට හූ කියන්න වෙනමම ටීම් දැම්මා. අන්තිමට දිගටම රාජපක්ෂලාට දේශපාලන බැලමෙහෙවර කරපු විමල්,ගම්මන්පිල,වාසුට,ඩලස් ඇතුළු නඩයටත් ගැහුවා.විමල්ලා වැඳ වැඳ පස්සෙන් යද්දීත් ගහලා එලෙව්වා.රාජපක්ෂලා බලයට ගේන්න උදව් කරපු කිසි කෙනෙක් අද රාජපක්ෂලා ළග නෑ.දැන් ඉන්නේ රාජපක්ෂලා ටිකයි බත් බැලයෝ ටිකයි විතරයි.

රාජපක්ෂලාට කොච්චර නරක විදිහට මුල් අමතක වෙලා තියනවද කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති.ජනතාව ඇවිත් රාජපක්ෂලාට ගහලා එලවපු වෙලාවේ රාජපක්ෂලා බේරගත්තේ රනිල්. අදත් ජනතාව ඒ වෙනුවෙන් රනිල්ට වෛර කරනවා.දැන් රාජපක්ෂලාගේ ඊළඟ ඉළක්කය වෙලා තියෙන්නේ රනිල්ට ගහන එකයි.දැනට කපන්ඩ බැරි අත ඉඹිමින් ඉන්නවා.අවස්ථාව ආපු ගමන් රනිල්ටත් ෂොට් එක දෙනවා.එකමදේ රනිල්ට ෂොට් එක දෙන එක ලේසි නෑ.රනිල් කියන්නේ වෙනමම ප්‍රපංචයක්.හරි තවත් දවසක රාජපක්ෂලාගේ පංච මහා ගුණයන්ගේ තවත් ගුණයක් ගැන කතා කරමු.

එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *