රත්නපුරේ විමල බුද්ධී යළි රිමාන්ඩ්.

අද (21) උදෑසන අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත්කරනු ලැබු රත්නපුරේ විමල බුද්ධි ‘විශ්ව බුද්ධ මුනි’ නමැති චීවරධාරී පුද්ගලයා ජනවාරි මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝග කළේය.

මීට පෙරද මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදා හැරුණා.

බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කර ඒවා අන්තර්ජාලයට මුදාහැරි බවට චෝදනා එල්ලව ඇති මෙම පුද්ගලයා අද පෙරවරුවේ කළගෙඩිහේන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යළි අත්අඩංගුවට ගෙන තිබේ.

බාහිර පාර්ශවයක් මගින් රුපියල් ලක්ෂ 25ක මුදලක් සැකකරුගේ ගිණුමකට යොමුකර ඇති බව මෙම චිවරධාරියා මීට පෙර අත්අඩංගුවට ගත් අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකරමින් සඳහන් කර තිබුණා.

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කරමින් සඳහන් කළේ විටෙක චීවරධාරියෙකු ලෙස මෙන්ම ඇතැම් අවස්ථාවන්හිදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙසද පෙනී සිට ඇති බවයි.

එමෙන්ම කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙම පුද්ගලයා පිටුපස සිටින බවට තොරතුරු හෙළිව ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සඳහන් කළේය .

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!