රට පුරා තව දුරටත් මහ වැසි. සෙල්ලකතරගම, යාල යටවෙයි, කලාවැවේ වාන් දොරටු අරී

නොනැවතී ඇද හැලෙමින් පවතින මහවැසි නිසා දිවයිනේ බොහො ජලාශ වාන් දමමින් පවතින අතර ප්‍රදේශ රැසක ගංවතුර තත්ත්වයන් ඇතිවෙමින් පවතී .

මැණික් ගඟ පිටාර ගැලීම නිසා යාල ජාතික වනෝද්‍යානයේ තිස්සමහාරාම පිවිසුම වසා දමා තිබූ අතර අද අළුයම වන විට සෙල්ලකතරගම පූජා භූමිය ජලයෙන් යටවී තිබේ.

මේ හේතුවෙන් බැතිමතුන් එම ප්‍රදේශය සංචාරය කිරීමේදී වඩාත් විමසිලිමත් වනලෙස නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දන්වා සිටී.

මේ අතර අප අනුරාධපුර වාර්තාකරු පවසනුයේ කලාවැව ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් කලාවැවේ ජල මට්ටම නැවත ඉහළ ගොස් ඇති බවය . ඒ අනුව අද (10) උදෑසන 8.30 වන විට කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 10 බැගින් විවෘත කිරීමට කලාවැව ජලාශ කාර්යාලය පියවර ගෙන තිබේ.

එමඟින් තත්පරයට ඝන අඩි 9817ක ජල ප්‍රමාණයක් කලාඔයට මුදාහැරේ. කලාවැව ජල පෝෂක ප්‍රදේශ ඔස්සේ මේ වන විටත් තත්පරයට ඝන අඩි 9395ක ජල ප්‍රමාණයක් කලාවැවට එක්වෙමින් පවතින බව ජලාශ කාර්යාලය පවසයි. කලා වැවේ සමස්ථ ජල ධාරිතාවය අක්කර අඩි 87097ක් බවද ගෙවුණු පැය 24ක කාලය තුළ කලාවැව ප්‍රදේශයට මිලි ලීටර් 31ක වර්ෂාපතනයක් ලැබී ඇති බවද වාර්තා වේ.

දැහැමි මධුෂිකා – කවීෂා විදානගමගේ

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!