යුක්තිය මෙහෙයුම සියළුම පොලිසිවලට අනිවාර්ය කරයි

දිවයින පුරා සියළුම පොලිස් ස්ථාන 2024.01.14 දින සිට යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු බවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද දින දිවයිනේ සියළුම කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මු.පො.ප. ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් ලබා දී ඇත.

මේ යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඇති විවෘත වරෙන්තු 35505 ක්, ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත් අඩංගුවට නොගත් සැකකරුවන් 4258 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 2022 වර්ෂයේ 807 දෙනෙකු සහ 2023 වර්ෂයේ 1678 දෙනෙකු වශයෙන් සැකකරුවන් 2485 ක් දෙනෙකු ලෙස මුළු සැකකරුවන් 42248 දෙනෙකු පිළිබද ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් අතට යොමු කරන ලදී.

යුක්තිය මෙහෙයුම යටතේ ඉදිරි මාසයක කාලය තුළ තම පොලිස් වසම් ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකර ඉහත ලැයිස්තු 3 ට අදාල සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පැය 24 පුරාම සියළුම අපරාධ අංශ නිලධාරීන් යෙදවිය යුතු බවට වැඩබලන පොලිස්පති විසින් නියෝග කර ඇත.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!