මුලතිව් ළිඳකින් භූමිතෙල් මතුවෙයි

මුලතිව් පුදුකුඩිරුප්පු ප්‍රදේශයේ ළිඳකින් භූමිතෙල් වැනි දෙයක් මතුව ඇතිබව වාර්තා වෙයි. ළිඳ පිහිටි ඉඩමේ හිමිකරු ඒ බව පොලිසියට දැන්වීමෙන් අනතුරුව එම ස්ථානයට ගිය පුදුකුඩිරුප්පු පොලිසිය එම ළිඳ භාවිත නොකරන ලෙස ජනතාවට දැනුම් දුන්නේය.

ළිඳ දිගු කාලයක සිට අතහැර දමා තිබූ බවත් එය නැවත පිරිසිදු කර භාවිතයට ගැනීමට තීරණය කළ බවත් හිමිකරු පැවසීය. ”වතුර අදිනකොට භූමිතෙල් ගඳ එනවා. අපි ග්‍රාම නිලධාරීට කිව්වා. එයා උපදෙස් දුන්නා පොලිසියටා කියන්න කියලා ” ළිඳේ හිමිකරු පැවසීය.

ළිඳ ආසන්නයේ එල්.ටී.ටී.ඊ කඳවුරක් පිහිටා තිබූ බවත්, ඔවුනගේ භූගත ඉන්ධන ගබඩාවක කාන්දුවක් හේතුවෙන් භූමිතෙල් ළිඳට කාන්දු වන්නට ඇති බවත් පොලිසිය පවසයි. මේ පිළිබඳව මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඒ අවට ප්‍රදේශයේ කැණීම් කටයුතු සිදුකිරීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන තෙක් එම ස්ථානයට නිතර නොයන ලෙසත් කිසිදු කටයුත්තකට ළිඳ භාවිත නොකරන ලෙසත් පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!