මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගිලන්රථ සේවාවක් ඇරඹේ.

මාලදිවයින සහ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) අතර ගුවන් ගිලන්රථ සේවාවක් මේ වසරේ මාර්තු 1 වැනිදා ආරම්භ කරන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි .

දෙරට අතර ගුවන් ගිලන්රථ සේවාවක් ආරම්භ කිරීමේ අරමුණින් මාලදිවයිනේ ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් සහ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අතර අද අමාත්‍යාංශ කාර්යාලයේදී පැවති විශේෂ හමුවකින් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙම සේවාව මගින් මාලදිවයින් පුරවැසියන්ට හදිසි අනතුරු, රෝගාබාධ සහ වෙනත් සෞඛ්‍ය හදිසි අවස්ථා වලදී හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වේ. මීට පෙර මාලදිවයින් පුරවැසියන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉන්දියාවට ප්‍රවාහනය කරන ලදී. එහෙත් එරට වත්මන් ජනාධිපතිවරයා දැඩි ඉන්දීය විරෝධී ආකල්ප දරන්නෙක් වන අතර ඔහු දඩි චීන හිතවාදී බවක් දක්වයි. එබැවින් මාලදිවයින සහ ඉන්දියාව අතර සබඳතා අධෛර්ය කිරිමට ඔහු උත්සහ ගනිමින් සිටී.

“කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ හදිසි ප්‍රතිකාරවල ගුණාත්මක භාවය සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී එවැනි රෝගීන් ශ්‍රී ලංකාවේ රෝහල් වෙත යොමු කිරීමට මාලදිවයින් රජය තීරණය කර ඇති බව” මාලදිවයින් ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යවරයා පැවසීය.

මේ සඳහා අමාත්‍යවරයා විසින් ගුවන් තොටුපළ නිලධාරීන්ට සහ සිවිල් ගුවන් සේවා අධිකාරියට අවශ්‍ය සියලු අනුමැතිය ලබා දී ඇත. නව සේවාව සඳහා ගුවන් තොටුපළේ විශේෂිත ඒකකයක් ස්ථාපිත කිරීමටත්, එය සියලු අත්‍යාවශ්‍ය පහසුකම්වලින් සමන්විතව පවත්වාගෙන යාමටත් අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර වෙත අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නේය.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!