මහින්ද සහ මෛත්‍රීට නොතීසි

2018 වසරේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනුකෙරුණු මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දී ඇති බව වාර්තා වෙයි .

මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසකට අධිකරණය විසින් නොතිසි නිකුත් කර ඇත.

පෙත්සම සම්බන්ධයෙන් මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පූලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම පෙත්සම සැප්තැම්බර් මස 23 වනදා විභාගයට ගැනීමටද අධිකරණය තීන්දු කර ඇත. සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ගොනුකර තිබේ .

පෙත්සම්කරු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සතුව තිබියදී ඔහු ඉවත්කොට එම තනතුර සඳහා මහින්ද රාජපක්ෂ පත් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!