පොලොන්නරුවේ මහ වැව් සියල්ල පිටාර ගලයි. සෝමාවතිය යටවෙයි, කුඹුරු අක්කර දහස් ගණනක් විනාශයි

පොලොන්නරුව දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය මේ වන විට යම් තරමකට පහව ගියත් මහා ජලාශ සියල්ල තවමත් වාන් දමමින් තිබෙන බවත් පොලොන්නරුව මඩකළපුව මාර්ගය ගල්ලෑල්ලේ සිට මනම්පිටිය දක්වා තව දුරටත් වසා දමා ඇති බවත් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි. අද (31) දහවල්වන විටත් පොලොන්නරුව මඩකළපුව මාර්ගයේ ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා ගංවතුර තත්ත්වය අඩි 3ක් පමණ විය .

මොරගහකන්ද,මින්නේරිය,කවුඩුල්ල,පරාක්‍රම සමුද්‍රය යන ප්‍රධාන වාරි ජලාශ තව දුරටත් වාන් දමමින් තිබෙන බවත් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොර‍ටු 10 අඩිය බැගින් තව දුරටත් විවෘතව තැබෙන අතර ඉන් තත්ත්පරයට ඝණ අඩි 1230 ක් අඹන් ගඟට මුදා හැරෙන බව එහි ප්‍රධාන වාරි ඉංජිනේරු අංජන අබේසිංහ පවසයි. මොරගහකන්ද ජලාශයේ වාන් දොර‍ටු දෙකක් තව දුරටත් විවෘතව පවතින අතර ඉන් තත්ත්පරයට ඝණ අඩි 2500ක් පිටතට මුදා හැරෙයි.

මින්නේරිය ජලාශයේ වාන් දොර‍ටු තව දුරටත් විවෘතව තැබෙන අතර ඉන් තත්ත්පරයට ඝණ අඩි 2000ක් මින්නේරි ඔයට මුදා හැරෙයි.කවුඩුල්ල ජලාශයේ වාන් දොර‍ටු සියල්ල තව දුරටත් විවෘතව පවතින අතර ඉන් තත්ත්පරයට ඝණ අඩි 4800ක් කහඹිලියා ඔයට මුදා හැරෙයි.

මීට අමතරව මහවැලි ගඟේ ජල මට්ටම තව දුරටත් අධි අවදානම් ගංවතුර තත්ත්වයෙහි පවතින බවත් මීටර් 5 ඉක්මවා එහි ජලකඳ පහළට ගලා යන බවත් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.මේ හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පහත් බිම් ‍රැසක් ජලයෙන් යටවී ඇති අතර ඓතිහාසික සෝමාවතිය පුදබිම අඩි 3ක පමණ ජලයෙන් යටවී ඇත.

සෝමාවතිය පුදබිම අඩි 3ක පමණ ජලයෙන් යටවී

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල් 100කට ආසන්න සංඛ්‍යාවක් ‍රැඳවුම් මධ්‍යස්ථාන 4ක තාවකාලිකව රඳවා සිටින බවත් පිසූ ආහාර ලබා දීමේ කටයුතු තව දුරටත් සිදු කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක පැවසීය. තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ විපතට පත් වූවන් ‍රැඳවුම් මධ්‍යස්ථාන 3ක රඳවා තිබෙන බවත් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ එක් ‍රැඳවුම් මධ්‍යස්ථානයක විපතට පත් වූවන් රඳවා සිටින බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

මේ අතර ගංවතුර තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්කය පුරා කුඹුරු අක්කර 1000ක ට පමණ දැඩි බලපෑම් එල්ල වී ඇතැයි ගොවිජනසේවා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

පරාක්‍රම සමුද්‍රය

මඩකළපුව ,මහියංගනය,දෙහි අත්තකණ්ඩිය,අම්පාර,වැලිකන්ද,අරලගංවිල ආදී ප්‍රදේශවලට ගමන් ගන්නා මගීන් සඳහා පොලොන්නරුව හා මනම්පිටිය අතර විශේෂ දුම්රිය සේවාව ඉකුත් 29 වැනිදා සිට තව දුරටත් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කවුඩුල්ල ජලාශය වාන් දමමින්
විපතට පත්වුවන්ට අහාර පිසිමින්
ඇළහැර යෝධ ඇල පිටාර ගලමින්

බණ්ඩාර මුදියන්සේ
පොලොන්නරුවේ සිට.

ගංවතුරට යට වුණ මනම්පිටියේ නිවාස

පරාක්‍රම සමුද්‍රය තව දුරටත් වාන් දමමින්

කවුඩුල්ල ජලාශය වාන් දමමින්

මහා ජලාශ උතුරා ගොස් පොළොන්නරුවම විනාශයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!